සියලු පව් බදූර්දීන් පිට පටවා අමු ජාතිවාදී බොරදියේ මාළු බෑම.


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව මසක් ද ඉක්ම ගොසිනි. ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් 89 දෙනෙකු ආරක්ෂක අංශ භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී. එහෙත් මෙවන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බලධාරීන් කිසිවකුත් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් මෙතෙක් ආරම්භ වී හෝ නොමැත. 

එවන් වටපිටාවක් තුළ සියල්ලට ඉහළින් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඔසවා තබාගෙන විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් පන්දු කෙළින ආකාරයකුත් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිස් ද ඊටම හුරේ දමමින් සිටින ආකාරයකුත් පෙනේ. මේ සටහන ඒ ගැනය.

ප්‍රහාරය ගැන දැනගෙනත් බකංනිලා සිටි අය

ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි අංශ වාර්තා නොසලකා හැරීම සම්බන්ධයෙන් අංක එකටම චෝදනාව එල්ල විය යුතු වන්නේ ආරක්ෂක අමාත්‍යවරයා, ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා මෙන්ම මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන්ටත් වඩා ඉදිරියට යමින් පොලිස් දෙපාර්තමේන්තුවත් තමන් යටතේ තබාගත් පුද්ගලයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතය.

දෙවැනියට රටේ අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය මෙහි වගකීම භාරගත යුතුය. ඒ, දේශපාලන අධිකාරිය වශයෙනි.

රටේ ආරක්ෂාව භාර නිලධාරීන් වශයෙන් ගත් කළ මීට ඒ මොහොතේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වූ හේමසිරි ප්‍රනාන්දු මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, යුධ හමුදාපති මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති කපිල ජයම්පති, නාවික හමුදාපති පියල් ද සිල්වා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ද සෘජුවම මීට වගකිව යුතුය. ආරක්ෂක මණ්ඩලය සමන්විත වන්නේ මේ අයගෙනි.

මේ අය අතරින් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබියදීත් ඉල්ලා අස් නොවූ පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවන ලදී. මෙතෙක් ම එපමණකි !

කවුරුත් අත නොතියන ජනපති 

ජනාධිපතිවරයා එකවර ආණ්ඩුව සහ විපක්ෂය යන දෙකම නියෝජනය කරනා ශ්‍රී ලංකාවේ අමුතුම තත්වය තුළ ජනාධිපතිවරයාට කිසිවකුත් ඇඟිල්ල දිගු කරන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයට සිය ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස නිල බලයෙන් පත්වන ජනාධිපතිවරයාගේ හොඳහිත අවශ්‍යමය. එහෙයින් ඔවුන් ජනාධිපතිවරයාට සෘජුව චෝදනා එල්ල කරන්නේ නැත. විපක්ෂයේ බහුතරය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින්නේ ඊළඟ මැතිවරණ උදෙසා ජනාධිපතිවරයා සමඟ සන්ධානයක් බිහි කරගැනීමටය. එසේම පසුගිය වසරේදී තමන්ට ආණ්ඩුවක් රැගෙන දුන්නේ ද මේ ජනාධිපතිවරයා බව සිහිතබාගැනීමට ද ඔවුන් බැඳී සිටී. එහෙයින් විපක්ෂය පැත්තෙන් ද ජනාධිපතිවරයාට බලපෑමක් නැත.

කියන්නට කතා ඇති ආණ්ඩුව

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගත් කල, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ද කියන්නට කතාවක් තිබේ. ඒ, පසුගිය මාස ගණන තුළම රටේ ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගන්නා ආරක්ෂක මණ්ඩල රැස්වීමට තමන්ව සහභාගී කර නොගත් බව සහ බුද්ධි අංශ තොරතුරු තමන් වෙත නොලැබුණු බවය. ඒ අනුව තමන් මීට වගකිව යුතු නැති බවය. රටක් පාලනය කරනා අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් ලෙස ජනතාව වෙත තැබිය යුතු සදාචාරාත්මක වගවීම පසෙකින් තබා බැලුවහොත් ඔහුගේ කතාවට ද යම් පදනමක් තිබෙන බව පිළිගත යුතුය. සාධාරණයක් නැතත් කතාවට පදනමක් ඇත. 

225 සංහිඳියාව 

අගමැති ආරක්ෂක අංශය හරහා ඔහුත් ඇමති ආරක්ෂක අංශ හරහා ඇමතිවරුනුත් මේ තොරතුරු දැනගත යුතුව තිබුණු බවට සාර්ථක තර්කයක් මතු කරන්නට හැකියාව තිබිණි. එහෙත් ප්‍රභූ ආරක්ෂක අංශය විසින් මේ පිළිබඳව ජනපතිගේ, අගමැතිගේ, ඇමතිවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරීන්ව ද දැනුවත් කර තිබුණු බව හෙළිවීමත් සමඟ "ආරක්ෂක නිලධාරීන්ට කියලා තිබුණාට එයාලා අපට කිව්වෙ නෑනේ ..." යනුවෙන් පාර්ලිමේන්තුවේ 225ම සමූහ ගායනයේ නියැළෙන්නට වූ බැවින් ඒ හැකියාව ද ගිළිහිණි.

නිලධාරීන් අතරින් ඉල්ලා අස්වූ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පතිවරයා වෙත හැර සේවයෙහි දැනටත් නියුතු කිසිදු ආරක්ෂක ප්‍රධානියකුට කිසිවෙකුත් කිසිදු චෝදනාවක් කරන්නේ නැත. ප්‍රහාරයකින් පසුව දැනෙන අනාරක්ෂිත භාවය හමුවේ ආරක්ෂක අංශ සමාජය තුළ අධිනිශ්චය වන තත්වයක් ද උද්ගතවීම තුළ සියල්ල දැනගෙන කිසිත් නොකළ ආරක්ෂක ප්‍රධානීන් අදත් හෙටත් පුටුවලය.

ආවේගශීලී නොවී, හැඟීම්බර නොවී බැලූවිට ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඉහත ආකාරය.

නම් ගෑවුණු දේශපාලකයින්

ප්‍රහාරයෙන් පසුව සිදු කෙරුණු විමර්ශනවලදී ප්‍රහාරක ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සමඟ විවිධ මට්ටමින් සම්බන්ධතා පැවැත්වූ බවට එජාප රජයේ රිෂාඩ් බදූර්දීන්, මුජිබර් රහුමාන් සහ මන්සූර් යන මන්ත්‍රීවරුන් වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, මධ්‍ය පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න යන අය වෙතත් විවිධ මට්ටමේ චෝදනා එල්ල වූ අතර අත් අඩංගුවට පත් පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින් දෙදෙනෙකු ද විය.

මේ අතරින් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට පමණක් එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විස්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලදුව මේ වනවිට සමස්ත දේශපාලන කරළියෙහි ගුරුත්ව කේන්ද්‍රය එය බවට පෙරළාගත් ආකාරයක් පෙන්වමින් සිටී.

බදූර්දීන්, විශ්වාසය සහ භංගය 

රිෂාඩ් බදූර්දීන් යනු කොහෙත්ම සුදු චරිතයක් නොවේ. පසුගිය දශකයක කාලය පුරාවට සෑම ආණ්ඩුවකම ඇමති තනතුරු දැරූ ඔහු ඒ හරහා අතිවිශාල ධනස්කන්ධයක් රැස්කරගත් බව නොරහසකි. විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල වී තිබුණ ද ඒවා සම්බන්ධයෙන් කිසිදු රජයක් විමර්ශන සිදු කළේ ද නැත. එහෙත් පාර්ලිමේන්තුව තුළ සිටින මේ පන්නයේ එකම දේශපාලනඥයා ඔහු නොවන බවත් කිව යුතුය.

මෙවර විශ්වාසභංගය ගත්විට එය ද එතරම් ශක්තිමත් පදනමකින් යුතුව ඉදිරිපත් කර ඇති එකක් ද නොවේ. එහි පළමු චෝදනාව ලෙසම දැක්වුණේ සැකකරුවකු මුදාගැනීම සඳහා හමුදාපති මහෙෂ් සේනානායක මහතාට බලපෑම් කළ බවය. එහෙත් හමුදාපතිවරයා පසුදිනම එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ බදූර්දීන් අමාත්‍යවරයා සැකකරුවකු ගැන තොරතුරු විමසමින් තමන්ගෙන් ඉල්ලීමක් කළා විනා බලපෑමක් නොකළ බවය. සෙසු චෝදනාවල එතරම්වත් ගත යුත්තක් නැත.

එයින් පෙනී යන්නේ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙන්නේ සැබැවින්ම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බදූර්දීන් ඇමතිවරයා වගකිව යුතු බවට ඒකාබද්ධ විපක්ෂය දන්නා නිසා නොව වෙනත් අරමුණකින් යුතුව බවයි.

බදූර්දීන් පිටින් තළන්නට එන අමු ජාතිවාදය

2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පිහිටවූ ආණ්ඩුවට බදූර්දීන් මහතාගේ සහාය ලබාගැනීම සඳහා ඔවුන් නොසෑහෙන උත්සාහයක් දැරුවත් එය සාර්ථක වූයේ නැත. ඒ හේතුව මත බදූර්දීන් යනු රාජපක්ෂ පාර්ශ්වයේ දැඩි ද්වේෂයට ලක් වූ පුද්ගලයෙකි. ඔහුගෙන් පළිගැනීමට ලැබෙන අවස්ථාවක් ඔවුන් අත්හරින්නේ නැත.

ඊළඟට මෙම විශ්වාසභංග යෝජනාව සඳහා මූලිකව ක්‍රියාකාරී වන පිරිස දෙස බැලිය යුතුය. මෙය මුලින්ම මාධ්‍ය වෙත හෙළිකළේ අතුරලියේ රතන හිමි විසිනි. යෝජනාව භාරදීම සහ ඉන්පසුව කරළියෙහි ඉදිරියෙන්ම රඟන්නේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන්ය. මොවුන් අමු සිංහල වර්ගවාදයෙන් ගොඩයෑමට බලා සිටින්නන් බව රටම දනී.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට මුස්ලිම් මන්ත්‍රීවරුන් හෝ මුස්ලිම් ඡන්ද නැත. ඔවුන් 2015 ජනාධිපතිවරණයේදීත් බලාපොරොත්තුවෙන් සිටියේත්, එවර පැරදුණත් 2020දී යළි බලාපොරොත්තුවෙන් සිටින්නේත් තනි සිංහල ඡන්දවලින් ජයගැනීමට වන අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව වඩා විශ්වාසයකින් යුතුව ඒ සඳහා ක්‍රියකාරීව සිටී. 

එහි ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් ලෙස හැසිරෙන ගම්මන්පිලලා, වීරවංශලා දේශපාලන එදාවේල සොයාගන්නේම සිංහල ජාතිවාදය තොග වශයෙන් විකිණීමෙනි. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාවෙහිත් මූලික පදනම වන්නේ බදූර්දීන් නම් සංකේතය හරහා පාර්ලිමේන්තුව තුළ මුස්ලිම් විරෝධය වැපිරීමය. ඒ හරහා මුස්ලිම් විරෝධී සහ මුස්ලිම් විරෝධී නොවන කොටස් ඉරි ඇඳ වෙන්කර පෙන්වීම සහ තමන් අයත්වන මුස්ලිම් විරෝධී පාර්ශ්වය දේශප්‍රේමී එක බව දහ අට වන්නම නටා පෙන්වමින් තනි සිංහල ආණ්ඩු බලයක් පිහිටුවීමට සිංහලයින්ගෙන් ඡන්දය ඉල්ලා සිටීමය.

මේ ගැන සැකයක් ඇත්නම් විශ්වාසභංගය භාරදුන් සැණින් විමල් වීරවංශගේ දේශපාලන සහයකු වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි (රාවණා බලකාය) "බදූර්දීන්ට විරුද්ධව පාර්ලිමේන්තුවෙහි ඡන්දෙ නොදෙන සිංහල මන්ත්‍රීවරුන් ගැන අපි බලාගන්නම්" යනුවෙන් කළ ප්‍රකාශයත් ඊයේ දිනය වන විට කොළඹ ආසන්න ප්‍රදේශවල "බදූර්දීන්ට විරුද්ධව ඡන්දෙ නොදී ගමට එන්න එපා" මැයෙන් ප්‍රදර්ශනය කෙරෙන ඩිජිටල් මුද්‍රිත බැනර් ද දෙස බලා සැකය සංසිඳුවා ගත හැකිය.

මෙය අන්තිම නින්දිත, තුච්ඡ, පාහර ක්‍රියාවක් බව ද අවධාරණය කළ යුතුය. මේවායේ අනාගත ප්‍රතිඵල සිතන්නටත් බැරි තරම් බරපතළ වන්නට ද හැකි බවත් කිව යුතුය.

ගිනි තියන්නට බලා ඉන්නා හනුමන්තලාට ඉඩ නොදෙන්නට 

නැවතත් කිවයුතුවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු බදූර්දීන් හෝ වෙනත් ඕනෑම කෙරුමකු හෝ ඊට දඬුවම් ලැබිය යුතුය. ඒ, විධිමත් නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි ඔප්පු කිරීමෙනි. එසේම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවත් ප්‍රහාරය ගැන දැනුවත්ව සිටිමින් තම තමන්ගේ ආරක්ෂාව පමණක් සලස්වාගත් පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුනුත්, නිලධාරීනුත් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතුය.

එසේ නොමැතිව ජාතිවාදී බොරදියේ මාළු බාන්නට බලා හිඳිනා උපාසක මහත්වරුන්ට අමුතු ඉඩ හදා නොදිය යුතුය. ජාතිවාදී ගිනි අවුළුවන්නට වල්ගාපත්වල පාංකඩ බැඳගෙන සැදී පැහැදී ඉන්නා පිවිතුරු හනුමන්තලාගෙන් සමාජය ප්‍රවේශම් කරගැනීමේ වගකීමෙන් මිදෙන්නට ද කිසිවකුට නොහැක. ඔවුන් දැනටමත් ඊළඟ ඡන්දයෙන් ගොඩයෑම සඳහා කුලියාපිටිය සහ ගම්පහ ගිනිතබා අවසන් බවත් අමතක කළ යුතු නැත.

මේ සියල්ල පිළිබඳ කල්පනා කළවිට බදූර්දීන්ට එරෙහි විශ්වාසභංගයට දිය යුතු ප්‍රමුඛතාවය යළි තීරණය කරන්නට හැකිවනු ඇත.

- සම්පත් සඳරුවන්

No comments:

Powered by Blogger.