මම නම් මේ රට දාලා යන්නේ නැහැ: හේමාස් සභාපති, හුසේන් එසුෆලී.


පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ‘මුස්ලිම් ව්‍යාපාර වර්ජනය’ රැල්ලක් බවට පත්වෙමින් තිබෙනවා. ඔබේ ව්‍යාපාරයත් ‘වර්ජනය කළ යුතු මුස්ලිම් ව්‍යාපාරයක්’ බවට හංවඩු ගැහිලා තියනවා. ඔබ මොකද හිතන්නෙ ඒ ගැන…?

ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයක්. ‘හේමාස්’ අවුරුදු හැත්තෑවක් තිස්සෙ නිකලැල් සහ කීර්තිමත් ව්‍යාපාර නාමයක් ගොඩනැඟුවා. බහුජාතික සමාගම්වලට නතුවෙලා තිබුණු අපේ වෙළඳපොළට අපේම රටේ නිෂ්පාදන ගණනාවක් හඳුන්වා දුන්නා. විශාල වශයෙන් විදේශීය විනිමය මේ රටට ගෙනාවා. මේ රටේ මිනිස්සු 8100 කට සෘජු රැකියා දීලා තියනවා. ඊට අමතරව තවත් 50,000කට විතර වක්‍ර රැකියා දීලා තියනවා.

ඒත් පහුගියදා සිද්ධ වෙච්චි පාස්කු ඛේදවාචකයත් එක්ක ‘හේමාස් නාමය’ට ගරහන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ප්‍රවණතාවක් මතුවෙලා තියනවා. අපිට දැනෙන විදියට මේවා සාමාන්‍ය මිනිස්සු කරන වැඩ නෙවෙයි. අපේ ව්‍යාපාරික තරගකරුවන් කරන වැඩ.

ඒත් ඇත්තටම මේ වැඩෙන් වෙන්නෙ, මේ රටට අයිති මේ රටේ මිනිසුන්ට රැකියා දෙන, මේ රටේ මිනිස්සුන්ට දේශීය නිෂ්පාදන සපයන දැවැන්තම සමාගමක් බිඳවැටෙන එක.

හේමාස් කියන්නෙ ඔබට පරම්පරාවෙන් ලැබෙන ව්‍යාපාරයක්… ඔබේ පරම්පරාව පැවතගෙන එන්නෙ කොහෙන්ද…? මේ ව්‍යාපාරයට පදනම වැටෙන්නෙ කොහොම ද…?

ඇත්තෙන්ම අපේ මුල් තියෙන්නේ ඉන්දියාවේ. මගේ සීයගේ තාත්තා ඉපදුණේ ඉන්දියාවේ ගුජරාට්වල මාන්වී කියන ප්‍රදේශයේ. ඒ අය එහේ වෛශ්‍යයෝ. ඒ කියන්නෙ වෙළඳාම් කරන අය. ඒ අයගෙ මුලින්ම ව්‍යාපාර වුණේ නැව් හදන එකයි, මාලදිවයිනත් එක්ක විවිධාකාරයෙන් බිස්නස් කරන එකයි. එක වතාවක් මාලදිවයිනට ගිහින් එන ගමන් කුණාටුවකට අහුවෙලා මගේ සීයගේ තාත්තගේ නැව අහම්බෙන් වගේ ගාලු වරායට සේන්දු වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒ අහම්බ සිදුවීම හින්දා තමයි අද අපි ලංකාවෙ ඉන්නෙ. එහෙම නැත්නම් මගේ සීයා, මගේ තාත්තා, මම, මගේ දරුවෝ ඉන්දියාවෙ හරි මාලදිවයිනේ හරි ඉපදෙන්න තිබුණා.

කොහොම හරි ඒ අහම්බ සිද්ධියෙන් පස්සෙ මගේ සීයගේ තාත්තා මේ රටට කැමති වෙලා, ස්ථිරවම පදිංචි වෙන්න හිතාගෙන පවුලේ අයත් එක්ක ඇවිල්ල තියෙනවා. ගාල්ලෙ ඉඳනුත් දිගටම බිස්නස් කරලා තියනවා. ඊට පස්සෙ මගේ සීයා හසන් අලි එසුෆලී ගාල්ලෙන් කොළඹට ඇවිත් මුලින් ම ඖෂධ, රසායන ද්‍රව්‍ය අලෙවි කරන කඩයක් පටන් ගන්නවා. ඒක තමයි අපේ මව් සමාගම. ඒ කියන්නෙ‘හේමාස් ඩ්‍රග්ස් ලිමිටඩ්’. මේක සිද්ධවෙන්නෙ අපට නිදහස ලැබෙන අවුරුද්දෙමයි. ඒ කියන්නෙ 1948 අවුරුද්දෙදි. ඊටපස්සෙ මේ බිස්නස් එක මගේ තාත්තගෙ පරම්පරාවෙදි තවදුරටත් දියුණු වෙනවා. මගේ තාත්තා නූර්දීන් එසුෆලී. එයාට තවත් සහෝදරයො තුන් දෙනෙකුත් හිටියා.

මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නෙ 1981. ඒ බේබි ෂෙරමි ඕඩිකොලොන් එක නිෂ්පාදනය කරමින්. ඒක අවුරුදු විස්සක් තිස්සෙ කළා. ඒ වෙනකොට මෙහේ විකිණුනු දන්තාලේප, ක්‍රීම්, ෂැම්පු ඔක්කොම පිටරටින්, නැත්නම් බහුජාතික සමාගම්වලින් ආනයනය කරන ඒවා.  ඊට පස්සෙ තමයි මම හිතුවෙ දන්තාලේප, ක්‍රීම්, ෂැම්පු අපේ රටේ නිපදවන්න ඕන කියලා. ඒ හිතීමේ ප්‍රතිඵලයක් හැටියට පස්සෙ කාලෙකදි මට පුළුවන් වුණා, අපේ රටේ වෙළෙඳපොළට විතරක් නෙවෙයි විදේශීය වෙළෙඳපොළටත් ගැලපෙන නිෂ්පාදන කරන්න. මේ විදියට තමයි හේමාස් පරම්පරාවෙන් පරම්පරාවට අවුරුද්දෙන් අවුරුද්දට ඉස්සරහට ආවෙ.

මොනවද මේ නිෂ්පාදනවලට තියෙන තත්ත්ව සහතික…? 

මේ නිෂ්පාදනවලට එස්.එල්.එස්., අයි.එස්.ඕ. ඇතුළු තත්ත්ව සහතික ගොඩක් ලැබිල තියනවා. ඊට අමතරව ලංකාවෙ වගේම ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් සහ සම්මානත් ලබලා තියනවා.

එතකොට මේවාට ‘හලාල් සහතිකයත්’ තියෙනව ද…?

නැහැ. කිසිදු හේමාස් නිෂ්පාදනයකට ‘හලාල් සහතිකය’ ලබාගෙන නැහැ.

ඇයි ඒ…?

පළමුවැනි දේ මේවා කන බොන දේවල් නෙවෙයි. හැබැයි කන බොන දේවල් නොවෙන ඒවටත් සමහරු හලාල් ගන්නවා. හැබැයි අපි නං කවදාවත් ගත්තෙ නෑ.

මේ ව්‍යාපාරයේ කොටස් හිමියන් කවුද…? 

වැඩි කොටස් ප්‍රමාණයක් තියෙන්නෙ අපට. අපි 2003 අවුරුද්දෙදි තමයි මුල්ම කොටස් නිකුතුව කළේ. ඉන් පස්සෙ අපේ කොටස්වලින් 40% ක් විතර විකිණුනා. සතුටුදායකම කාරණය තමයි අපේ ව්‍යාපාරයේ වැඩ කළ අයගෙන් කණ්ඩායමකුත් දැනට මේ ව්‍යාපාරයේ කොටස් හිමියො වෙලා තියන එක.

පහුගිය දවස්වල ආන්දෝලනයක් තිබුණා, හේමාස් උපයන ලාභයෙන් කොටසක් මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලයට බැර වෙනවා කියලා. ඒ කතාවෙ ඇත්තක් තියනව ද…?

කොහෙත්ම නෑ. ඔය මඩකලපු විශ්ව විද්‍යාලය ගැන අපි දැනගත්තෙත් පහුගිය දවස්වල මාධ්‍යයෙන් ම තමයි. ඒ හැර අපට ඔය විශ්ව විද්‍යාලයවත් වෙනත් කිසිම සංවිධානයක් එක්කත් කිසිම සම්බන්ධයක් නෑ.

ඇත්තෙන්ම අපේ ලාභයෙන් වැඩි කොටස නැවත නැවත මේ රටේම ආයෝජනය කරනවා. මුලින්ම දන්තාලේප, ඕඩිකොලොන්, රෙදි සෝදන ද්‍රව්‍ය වගේ පාරිභෝගික භාණ්ඩ  නිෂ්පාදනය කරපු අපි පස්සෙ හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්නෙ, රෝහල් හදන්නෙ, ‘ඇට්ලස්’ ලිපිද්‍රව්‍ය සමාගම මිලදීගන්නෙ ඒ විදියට.

ඊට අමතරව අපේ ලාභයෙන් තවත් කොටසක් නොයෙකුත් සමාජ සේවාවලට විය පැහැදම් වෙනවා. මේ වෙනකොට අපි ළමා සංවර්ධන අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා ‘පියවර’ කියන නමින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 56 ක් පවත්වාගෙන යනවා. ආබාධිත ළමයින්ට නොමිලේ ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ම වෙන් වූ ‘ආයති’ කියන රෝහල් පරිශ්‍රය ඉදිකරමින් ඉන්නවා.

ඔබට එල්ල වන තවත් චෝදනාවක් තමයි, ‘හේමාස් රෝහල’ මුස්ලිම් ජාතිකයින්ට ‘සහන පැකේජ’ එහෙමත් නැත්නම්, ‘ඩිස්කවුන්ට්’ දෙනවා කියන එක…? ඒකෙ ඇත්තක් තියෙනව ද…?

කිසිසේත්ම නැහැ. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නෙත් නෑ. සිද්ධ වෙලත් නෑ.

එතකොට ව්‍යාපාරයේ මුදල් පරිපාලනය වෙන්නෙ ඉස්ලාම් බැංකු ක්‍රමයට ද…?

නැහැ. ප්‍රධාන වශයෙන්ම අපේ ගනුදෙනු සිද්ධවෙන්නෙ ලංකා බැංකුව ඇතුළු ලංකාවේ දේශීය බැංකු එක්ක. ඇත්තෙන්ම අපේ ව්‍යාපාර පරිපාලනය, ව්‍යාපාර ගනුදෙනු හැම එකක්මත් සිද්ද වෙන්නෙ ලංකාවේ ක්‍රමයට. ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය පොදු නීතියට අනුකූලව.

ඔබ කියන්නෙ ඔබේ ව්‍යාපාරික කටයුතුයි ඔබේ ආගමික ඇදහිලියි අතර කිසිදු සම්බන්ධයක් නෑ කියන එක ද…?

ඇත්තෙන්ම. අපේ ව්‍යාපාරික ස්ථාන සිකුරාදා හවස වහන්නේ නෑ. මොකද මේ ව්‍යාපාරයේ වැඩකරන සහ මේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙන ගනුදෙනුකරුවො ඔක්කොම මුස්ලිම් ආගමේ නොවෙන හින්දා.

සමහර මුස්ලිම් ව්‍යාපාරිකයින් සේවකයින් බඳවාගන්නකොට  තමන්ගෙ ආගමේ ජාතියේ අයට ප්‍රමුඛතාවක් දෙන බව පේනවා. ඔබේ ආයතනයට සේවකයින් බඳවාගනිද්දිත් ආගම ජාතිය සලකනව ද…?

කිසිසේත්ම නැහැ. අපේ සම්මුඛ පරීක්ෂණවලට එන අයට ලකුණු ලැබෙන්නෙ දක්ෂතාවය කුසලතාවය හැකියාව මත පමණයි. ඒත් පහුගිය දවස්වල මේ ආන්දෝලනය හින්දම අපි අපේ සේවකයින් ගණන ජාතිකත්වය අනුව ගණන් අරන් බැලුවා. එහෙම බලපුවම 90% ක් විතර සිංහල අය තමයි ඉන්නෙ. එහෙම වෙන එක ඉතිං හරිම සාමාන්‍යයි. මොකද මේ රටේ වැඩිපුර ඉන්නෙ සිංහල අයනෙ.

ඔබේ සමාගමට ඔබේ ජාතියේ අය වැඩියෙන් බඳවාගන්න කියලා ආගමික නායකයින්ගෙන්වත් බලපෑමක් එල්ලවෙන්නෙත් නැද්ද…? 

ඇත්තෙන්ම අපේ ආගමික නායකයින්ගෙන්වත් පල්ලියෙන්වත් එහෙම කිසිම බලපෑමක් එල්ලවෙන්නේ නැහැ.

ගුජරාට්වල ඉන්න බෝරා වර්ගයේ ආධ්‍යත්මික නායකයා දෙන වැදගත්ම අවවාදය තමයි, අපේ පාරම්පරික වෘත්තිය වන වෛශ්‍ය වෘත්තියේ, ඒ කියන්නෙ වෙළෙඳ වෘත්තියේ නියැළෙන ගමන්, තමන් ඉන්න රටේ  සංස්කෘතියට සභ්‍යත්වයට බද්ධවෙලා සහජීවනයෙන් ජීවත්වෙන්න කියන එක.

ඇත්තටම ඒක වැදගත් දර්ශනයක්. කුඩා ජනවර්ගයක් හැටියට අපිට මේ රටේ මහා සංස්කෘතියට බලපෑම් කරන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ. ලංකාවේ අපේ වර්ගයේ, ඒ කියන්නෙ බෝරා වර්ගයේ අය ඉන්නෙ තුන්දාහකටත් වඩා අඩුවෙන්.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ගැන ඔබේ අදහස මොකක් ද…?

ප්‍රධාන වශයෙන් ම මේක සාම්ප්‍රදායික ඉස්ලාම් ආගමේ ඉගැන්වීමකින් පෝෂණය වන දෙයක් නෙවෙයි. ඒක අන්තවාදයකින් පෝෂණය වන දෙයක්. අපි නම් හැම ආකාරයෙන්ම අන්තවාදයට විරුද්ධ අය. අයි.එස්. අයි.එස්. ගැන විශේෂයෙන් කිව්වොත්, ඔවුන්ගෙන් වැඩියෙන් ම බැට කන්නෙ අපේ අය. නිසැක වශයෙන් ම මේක අති භයානක ජාත්‍යන්තර මට්ටමේ අති බිහිසුණු ත්‍රස්තවාදයක්.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට සම්බන්ධයක් තිබුණේ යැයි කියන තවුහිද් ජමාද් කියන ලංකාවේ සංවිධානය විසින් සිදු කළ පාස්කු ප්‍රහාරයෙන් ඔබේ ව්‍යාපාරවලටත් දැවැන්ත පහරක් වැදුණා. ඉදිරියේදී ඔබ වැනි ව්‍යාපාරිකයින් මේ රට හැර යයි ද…?

අනෙක් අය ගැන නං මං දන්නෙ නෑ. හැබැයි මොහොතකටවත් මට නං එහෙම හිතෙන එකක් නැහැ. මම ඉගෙනගත්තෙ එංගලන්තෙ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ. මේ රටට ආදරේ නැත්නම් ඒ කාලෙම මම එහේ හරි ලෝකෙ වෙන කොහේ හරි පදිංචි වෙන්න තිබුණා. ඒත් එහෙම වුණේ නෑ.

ලොකු පත්තකින් අතින් දිය කර කර ඕඩිකොලොන් හදලා ගොඩනගපු මේ ව්‍යාපාරයත් දැන් මට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඒකෙන් යැපෙන විශාල පිරිසක් ඉන්නවා. ඒක මේ රටට විශාල වශයෙන් විනිමය ගේනවා. ඉතිං මේ ව්‍යාපාරයත් මේ වෙනකොට මේ රටින් ගලවන්න බැරි තරමටම මේ රටට බද්ද වෙලයි තියෙන්නෙ.

මේ දවස්වලත් අපේ නිෂ්පාදන වැඩි වැඩියෙන් රට යවන විදි ගැන හිතමින් ඉන්නවා මිසක් මේ රට දාලා යන විදියක් ගැන නං හිතන්නේ නෑ. මේ තත්ත්වය ඉක්මනින් ම වෙනස්වෙයි කියලා හිතනවා.

මේක මගේ රට. මම බෝරා ජාතිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් මම ශ්‍රී ලාංකිකයෙක්.

[සුරේඛා සමරසේන]

No comments:

Powered by Blogger.