පාස්කු ප්‍රහාරය ගැන අගමැතිගේ සාක්ෂිය


අන්තවාදී ඉස්ලාම් සංවිධානවලට සහය දක්වන පිරිස් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේදී විටින් විට වාර්තා ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා ඒ බවක් ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි අඟහරුවාදා (අගෝස්තු 06) සාක්ෂි දෙමිනි.
"කට්ටියක් සිරියාවට ගිහින් ආව බවට තොරතුරු ලැබිලා තිබුණා. ඒ ගැන හොයන්න බුද්ධි අංශවලට උපදෙස් දුන්නා," අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත්, ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවලට යොමුවී සිටි බවට තොරතුරු ලැබී නොතිබුණු බව ද අගමැතිවරයා පැවසීය.
2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට තමන්ට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොලැබුණු බවත් ඇතැම් තොරතුරු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ලබා ගත් බවත් ඔහු පැවසීය.

බුද්ධි අංශවල ලිපි ලැබුණා ද?

පාස්කු ඉරු දින ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික හා රාජ්‍ය බුද්ධි සේවා යොමු කළ ලිපි තමන්ට හෝ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී නොතිබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
"එහෙම ලිපි ලැබිලා තිබුණේ නැහැ. අගමැති ආරක්ෂක අංශයටවත් ලැබිලා තිබුණේ නැහැ. එහෙම ලිපියක් ලැබිලා තිබුණා නම් මම අඩු තරමින් පොලිසියෙන් හරි අහල බලනවා," ඔහු ප්‍රකාශ කළේය.
"ප්‍රහාරය එල්ල වුණාට පස්සේ මම ආරක්ෂක නිලධාරීන්ව කැඳෙව්වා. ඔවුන් එන්න ප්‍රමාදයක් තිබුණා. ඒ නිසා මම බලා ඉන්නේ නැතුව ආරක්ෂක අමාත්‍යංශයට ගිහින් ඔවුන් මුණ ගැහිලා ජනාධිපතිවරයා සමගත් කතා කළා."
මේ අතර, පසුගිය වසරේ ඔක්තෝබර් මාසය වන තෙක් මසකට පමණ වරක් ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවත් එය ජනාධිපතිවරයාගේ කැඳවීම මත පැවැත්වූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ආරක්ෂක කවුන්සිලයට කැඳවීම් නොලැබුණ ද මාවනැල්ල සිදුවීම ඇතුළු කරුණු පිළිබඳව කැබිනට් රැස්වීම්වලදී සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය.

යළි දිවුරුම් දීමෙන් පසු...

2018 වසරේ ඔක්තෝබර් මාසයේ ඇති වූ අර්බුදයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දීමෙන් පසු සම්ප්‍රදායානුකූලව ආරක්ෂක හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා හමුවූයේ ද යන්න මහාචාර්ය ආශු මාරසිංහ ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, පොලිස්පතිවරයා පමණක් තමන්ව මුණ ගැසුණු බවය.
"ඔවුන් සමග මගේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ආරක්ෂක අංශයෙන් වාර්තා ලැබුණේ නැති එකයි වුණේ"

ආරක්ෂක අමාත්‍ය ධූරය

මෙහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ, ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරුන්ට ත්‍රස්තවාදය හඳුනාගැනීමට හෝ ඊට එරෙහිව පියවර ගැනීමට ඉවක් නොමැති බවය. එලෙස වුවහොත් ජාතික ආරක්ෂාව පිළිබඳ බලාපොරොත්තු ඉටු කරගත නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දුන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ:
"අන්තවාදී ක්‍රියා කළ අය ත්‍රස්තවාදීන් කියල තොරතුරු ලැබිල තිබුණෙ නැහැ. ගොඩක් රටවල ඒ පිළිබඳව දැනුමක් ඇති අය තමයි ඇමතිකම්වලට පත් කරන්නේ. පළපුරුද්දක් තියෙන අය තමයි මම බොහෝ අමාත්‍යංශවලට පත් කළේ. ආරක්ෂක අමාත්‍යංශයටත් එවැනි දැනුමක් ඇති අය පත් කරන්න පුළුවන් නම් ඒක තවත් ශක්තියක්."
එහිදී, අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසුවේ, ඉස්ලාම් අන්තවාදය ත්‍රස්තවාදයේ පළමු පියවර බව තේරුම් ගත යුතු බවය.
"අන්තවාදය තමයි ත්‍රස්තවාදයට යන්නේ. බුද්ධි අංශවලින් ඒ තොරතුරු තමයි දැනුවත් කරන්නේ. අපේ යාන්ත්‍රණය සකස් වෙලා තිබුණේ එල්ටීටීඊ අරගලය සම්බන්ධවයි. ඒක දැන් වෙනස් කළ යුතුයි... බුද්ධි අංශය තවත් ශක්තිමත් කළ යුතුයි," රනිල් වික්‍රමසිංහ පිළිතුරු දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර පියවර ගත් පමණින් රටේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
"එකක් ඉවර වුණා කියලා මේකෙන් සෑහීමකට පත්වෙන්න බැහැ. දැන් සියලු දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. අපි හිතන්නේ ම නැති අය තමයි ත්‍රස්ත ක්‍රියා කරන්නේ. තනි පුද්ගලයෙකුට පවා පුළුවන් ත්‍රස්ත ක්‍රියා කරන්න. අපි මේවා ගැන අවධානයෙන් හිටියෙ නැත්නම් මේක පිළිකාවක් වගේ පැතිරෙනවා."
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ, වර්තමානයේ තාක්ෂණය උපයෝගී කර ගනිමින් ත්‍රස්ත කණ්ඩායම්වලට ක්‍රියාත්මක විය හැකි බවය. ඒවා විමර්ශනය කිරීම සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.
"දැන් පන්ති තියන්න ඕන නෑ. අන්තර්ජාලයෙන් පුළුවන් පණිවුඩ ලබා දෙන්න. සහරාන් අන්තර්ජාලයෙන් දෙමළ බසින් මත ඉදිරිපත් කළ නිසා ඒක ඉන්දියාවටත් ප්‍රශ්නයක් වුණා."
(බීබීසී සිංහල)

No comments:

Powered by Blogger.