නව පෙරමුණු සහ පරණ ඔළු!


මේ මොහොතේ දසතින් ඇසෙන්නේ පුළුල් ඊනියා මහජන පෙරමුණු පිළබඳ ඝේාෂාවයි. තනි පක්ෂ ක්‍රමය අවලංගුවී ද? නැතිනම් සමස්ත පක්ෂ ක්‍රමයම යල් පැන ගිය සංකලපයක් ද? එසේත් නැතිනම් දුෂිත පාලක ප්‍රභුතන්ත්‍රය ජනතාව ඉදිරියේ තර්ජනයට පත්වෙමින් සිටින්නේද? න්‍යායික හා අනුභූතික පිළිතුරු අවශ්‍යවන පැනයන් රාශියක් අප හමුවේ පවතී. කෙසේමුත් දේශපාලන අරාජක්ත්වයද? නැතිනම් පාලනයේ නාමයෙන් ගෙනයනු ලබන කොල්ලකාරීත්වයක් ද? යන පැනයන් ට ජනයා විසින් ඉදිරියේ දී එළඹෙන මැතිවරණවල දී නිසැකවම පිළිතුරු ලබා දෙනු ඇත.

ඓතිහාසිකව කොල්ලකාරී පාලන තන්ත්‍රයන් අබිසෙස් ගැන්වීමේ පුරුද්ද තුළ නිසැකවම ජනතාව මෙවරත් අරාජකත්වය වෙනුවට කොල්ලකාරීත්වය ඉහළින් ඔසවා තබනු ඇත.

සැබවින්ම, පවත්නා බල දේශපාලන පද්ධතියෙන් තවදුරටත් මෙම කලාපය තුළ ජනතාවගේ විමුක්ති මාවත සාධනය නොවුවද , දේශපාලනය වෙනස් කිරීමේ දේශපාලනයක අවශ්‍යතාවය ගැඹුරින් මේ මොහොතේ දැනෙමින් පවතී. නමුත් සබුද්ධික දේශපාලන ජීවියාගෙන් ගව් ගණනක් ඈතින් වෙසෙන හා නිවැරදිව ඥාණනය නොවූ බහුතර ප්‍රජාව, සහානාධාර වලින් ජීවිතය ගැට ගසා ගන්නා පීඩිත ජනයා නිසැකවම වම(?) වෙනුවට දකුණත්, නිදහස වෙනුවට රාජ්‍යයේ පීඩාකාරීත්වයත් තෝරා ගැනීමට නියමිතය. ඒ සඳහා ජනයා පොළඹවන සාධක අතර යහපාලනය විසින් ඇතිකළ අරජකත්වය පිළිබඳ භීතිකාවත්, ජාතිවාදී දේශපාලන පෙළඹවීමත් ඉදිරියෙන්ම පවතිනු ඇත.

ඉදිරියේදී පත්විය හැකි පොදුජන පෙරමුණේ නායකත්වයකින් අපේක්ෂා කළ හැක්කේ 18 වන සංශෝධනය ටත් එහා ගිය බලය සංකේන්ද්‍රණය වූ විධායකයක් වෙත නැවත ගමන් කිරීමේ න්‍යාය පත්‍රය නොවිය හැකිද? එසේම වික්‍රමසිංහගේ අනුපාප්ත්‍රිකයාට තවදුරටත් ප්‍රජාතන්ත්‍ර වාදය පළල් කිරීමේ න්‍යාය පත්‍රයක් පැවතිය හැකිද? මේ කිසිදු ප්‍රශ්නයක් පුළුල් ඊනියා මහජනයාට ප්‍රශනයක් නොවිය හැක. ඔවුන් බහුතරය අනුග්‍රාහක දේශපාලනය විසින් විපරීතකරනු ලැබ තිබෙන පරිසරයක එම දෙපාර්ශවයටම නවලෝක බලතුලනය තුළ හා කළාපීය බල දේශපාලන බලහත්කාරීත්වයන් තුළ දේශීය සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ උපායක් සහිත විදේශ ප්‍රතිපත්තියක් පවතිදීද?

අනෙක් අතට මෙම දෙපාර්ශ්වයටම තර්ජනයක් සහ විකල්පයක් වියහැකි වෙනත් තෝරාගැනීමක් පැවතිය යුතුය. නමුත් විකල්ප වශයෙන් ගොඩනැඟෙන පෙරමුණුවල ද පවතින්නේ අවිනිශ්චිත භාවය සහ දේශපාලනිකව අහෝසිවීයාම වලක්වා ගැනීමේ න්‍යායපත්‍ර බවද පැහැදිලිය. මෙරට දේශපාලන දේහය හැත්තෑ වසරක් ගමන් ගත දිශාව වෙනස් කිරීමේ දේශපාලන භාවිතාවක් නිර්මාණය කර ගැනීමට නොහැකි වූ වමක් කල යුත්තේ තවදුරටත් මහජන ස්වාධිපත්‍ය හිඟා කෑම වෙනුවට තමන්ගේ න්‍යායික හා ප්‍රායෝගික භාවිතාවන් මෙතෙක් ජනතාව ප්‍රතික්ෂේප කළේ ඇයිද යන්න විද්‍යාත්මකව සොයා බැලීමයි. නමුත් වාම ප්‍රයෝජ්‍යතවාදය ද ගිලී සිටින්නේ විශාල අර්බුදයක බව පැහැදිලිය. මේ තත්වය තුළ ඉදිරිපත්වන හුදු කේවල විකල්පයන් ට ද ජනතාවට ඒත්තු ගැන්වියහැකි ක්‍රියාමාර්ගයන් හෝ භාවිතාවන් නොපවතින බව යයි.

එජාපය සහ පොදුජන පෙරමුණ යනු සම්ප්‍රදායික බල දේශපාලන තරඟය තුළ වඩාත්ම ඉදිරියෙන් සිටින බලවේගයන්ය. නමුත් ඔවුන් සතුව පවතින දේශපාලන උපක්‍රම තවදුරටත් ජනතාව පුදුමයට පත්කරවිය හැකි මහා සම්ප්‍රදායන් නොවෙයි. දුෂිත දේශපාලනය සමඟ කෙසේ හෝ ජනයාගේ පරමාධිපත්‍ය කොල්ලයට ගැනීම සඳහා අවශ්‍ය දෛනික භාෂාවක් නිපදවනවා හැරුණුවිට ජාතිය ගොඩනැගීමේ න්‍යාය පත්‍රයක් ඒවා සතු නොවෙයි. එසේම පවුල්වාදය සහ කට්ටිවාදය තුළ ගිළි සිටින මෙම පක්ෂ විසින් සිදුකරන්නේ කළු සල්ලි සුදු කිරීම වැනි වූ ආකාරයේ ව්‍යාජ දේශපාලනයක් පමණි.

එම පක්ෂ බලය ලබා ගැනීමේ දී සාර්ථක විය හැකි වුවද, සමාජීය බලය ප්‍රජාතාන්ත්‍රිකව භාවිතාවේ දී අතිශය පසුගාමී සහ තිරස්චීන තත්වයක සිටී. නිදහසින් දිගින් දිගටම පෙරමුණු හා පක්ෂ වශයෙන් මෙරට බලය මැතිවරණ භාවිතාවෙන් ලබාගෙන එම බලය දුෂණයට හා භීෂණයට භාවිතා කළේ මෙම පක්ෂ විසිනි. ඒවා විසින් නිර්මාණය කළ දුෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පද්ධතිය හේතුවෙන් මෙරට ජනතාව සීග්‍රයෙන් සක්‍රිය දේශපාලනයෙන් පිටමන් කරනු ලැබ තිබේ. අතිශය බහුතර ජනතාවක් ප්‍රජාතන්ත්‍රවාදය තුළ අතිවිශාල ආන්තිකකරණයකට හසුවන්නෙත් පාර්ලිමේන්තුවේ නියෝජනය තුළ අතිවිශාල දුෂිතයන් ගොන්නක් ඉතිරි වන්නේත් එබැවිනි. දේශපාලනය නමැති අවකාශය දුෂිතයන්ගෙන් ගලවාගැනීමේ සටනක් දියත් නොකොට දේශපාලනය මනුශිකකරණය කිරීමක් පිළිබඳව මේ මොහොතේ අපට යෝජනා කළ නොහැකිය.

ප්ලේටෝ සහ ඉසොක්රෙට්ස් නමැති දාර්ශනිකයන් විසින් පෙන්වාදෙනු ලබන ආකාරයට එදා ග්‍රීසිය තුළද විටෙක ජනතා නියෝජිතයන් තුළ වර්ධනය වෙමින් පැවතියේ බලය සහ සුඛ විහරණය ලබා ගැනීම පිලිබඳ වූ ක්‍රෑර ආශාවකි. එම දාර්ශනිකයන්ට අවශ්‍ය වුයේ දේශපාලනික සහ සාහිත්‍යමය අධිකාරීත්වයක් නිර්මාණය කර ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය එයට පත්විය හැකි දරුණුම ආකාරයේ ඛාදනයකට සහ දුෂණයකට ලක්වී ඇති තත්වයක් තුළ මෙරට සමහර ඊනියා බුද්ධිමතුන් තවදුරටත් දුෂිත දේශපාලනය ආලෝලනය කරන්නේ බලයට සහ සුඛවිහරණයට ඇති කැමැත්ත නිසාය. වෘක රැළ පසුපස යන නරියන් මෙන් නොවී බුද්ධිමතුන් පෙළගැසිය යුත්තේ නැවතත් ප්ලැටෝනික අර්ථයෙන් දේශපාලනික සහ සාහිත්‍යයික සමාජයක් කරා ජනයා පෙළ ගැස්වීම නොවේද?

ආචාර්ය අතුල සමරකෝන්
විවෘත විශ්වවිද්‍යාලය

No comments:

Powered by Blogger.