වාරික මහත්තයාගේ ගම්උදාව සහ ප්‍රෝඩාව!


‘‘මාගේ සදාදාරණීය පියාණන්ගේ නාමයෙන්, ඔහු විසින් ගෙන ගිය ගම්උදා වැඩසටහනට නැවත පණ දෙමින්, මා විසින් ගෙන යන මේ වැඩසටහනේ අරමුණ මේ රටේ අසරණ අහිංසක ජනතාවට හිසට සෙවණක් ලබාදීම යි…’’ ආදී වශයෙන් කතා පවත්වමින්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් විවෘත කරනු ලබන මෙවැනි ඕනෑම ගම්මානයක ආරම්භක ස්ථානයේ සවි වන ග්‍රැනයිට් ඵලක තුනකින් යුත් පුවරුවක මෙවැනි ‘ගරු ගාම්භීර පාඨයක්’ සහිත පුවරුවක් සවි කෙරේ.

‘‘නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වසර 2025 දී ‘සැමට සෙවණ’ ලබාදීමේ ඒකායන අරමුණ වෙත ……………………. මැතිතුමාගේ ශක්තිය සමග පිය නගමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ ………….. මැතිතුමාගේ යෝජනාවක් අනුව, ……………. මැතිතුමාගේ ආරාධනයෙන් ඉදිවන මෙම ආදර්ශ ගම්මානය ………………..නම් වේ.’’

මෙමගින් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ සිට ප්‍රදේශයේ ඡන්දවලට ‘අධිගෘහිතව’ වැඩවාසය කරන්නා වූ මහ ආණ්ඩුවට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ සිට පළාත් පාලන ආයතනවලට සම්බන්ධ මහජන නියෝජිතයන් පවා ‘ප්‍රවර්ධනය’ කරන අතර මෙවැනි ‘එක් පුවරුවක්’ සඳහා නිවාස අධිකාරිය විසින් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දෙදාහක් පමණ වැය කෙරේ.

පුවරුවෙහි වියදම එසේ වන විට, උදාගම්මාන එකක් දෙකක් හෝ තුනක් විවෘත කරන අවස්ථාවක් අලලා සිදුකරනු ලබන ‘දැන්වීම් ඇලවීමේ ව්‍යාපෘතිය’ තවත් ‘මහා ව්‍යාපෘතියක්’ බවට පත් වී තිබේ. ‘මෙකී පෝස්ටර් ගැහිල්ල’ වෙනුවෙන් අදාළ උදාගම අයත්වන දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන්ට අතිකාල පවා ගෙවන බවට යම් යම් අවස්ථාවල දී වාර්තා වී තිබෙන අතර මෙම පෝස්ටර් ඇලවීම නිසි පරිදි මෙහෙය වූයේ නැතැ’යි, මාතර නිවාස සංවර්ධන අධිකාරියේ ‘එක්තරා නිලධාරියෙක්’ මාරු කර යැවූ බවක් ද වාර්තා විය. ‘මෙකී පෝස්ටර් ගැහිල්ල’ අදාළ උදාගම අයත්වන දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවන අවස්ථා ද පවතින අතර පසුගිය මාසයේ නැගෙනහිර උදාගම් ව්‍යාපෘතියක් අරබයා බස්නාහිර පළාතේ පවා පෝස්ටර් ඇලවී තිබෙනු දක්නට ලැබිණි.

මෙයිනුත් නොනැවත, සෑම උදාගම් විවෘත කිරීමකටම අදාළව පුවත්පත් 18 ක් සඳහා ‘පිටු භාගයක දැන්වීමක්’ යැවේ. මෙමගින් අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය නංවාගැනීම මෙන්ම එම ව්‍යාපෘති පිළිබඳ ‘මාධ්‍ය විවේචනයක්’ එල්ලවීම ද වැළකේ. මේ ආකාරයට ‘උදාගම් ව්‍යාපෘති විවෘත කිරීමේ ප්‍රචාරණ කටයුතු’ සඳහා වන අධික වියදම නිසා ම, පසුගිය වසරේ රුපියල් කෝටි 1 1/2ක්  වූ අධිකාරියේ ප්‍රචාරක වියදම මේ වසරේ රුපියල් කෝටි 33 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ ආකාරයට රටටම අඬබෙර ගසා විවෘත කරන මෙවැනි උදාගම්, වල් අලි තර්ජන, ජලය නොමැතිවීම ආදී ජීවත්වීමේ අපහසුතා හේතුකොටගෙන ‘පදිංචිකරුවන් විසින් අත්හැර’ යන අවස්ථා ද සුලබ වන අතර එවැනි ගම්මාන දෙකක් අනුරාධපුරින් හමුවිය.

ඉන් එකක් පිහිටා තිබෙන්නේ මැදවච්චියේ රඹෑවේ ය. ‘විහාරමහදේවිගම’ නම් වන මෙම ගමේ මිනිසුන්ට විවෘත කිරීමෙන් පසුව පානීය ජලය සැපයෙන්නේ නැත.

‘‘ඕපනින් එකේදි ප්‍රජා ජල යෝජනා ක්‍රමයකින් වතුර දුන්නා… ඒත් පස්සෙ පස්සෙ වතුර එන්නැතුව ගියා… දැනට අපි කිහිප දෙනෙක් දුර බැහැරින් වතුර අරගෙන ඇවිත් පාවිච්චියට ගන්නවා… සමහරු ගෙවල් අත්ඇරලත් ගියා… කන්තෝරු ගානෙ බඩගාලා බඩගාලා දැන් නම් ළිඳක් කැපෙනවා…’’යැයි එහි පදිංචි ගම්වැසියෙකු පැවසුවේ ය

මේ සම්බන්ධයෙන්, නිවාස අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ මෙම ඉඩම්වල ‘හිමිකම පැවරීම’ සම්බන්ධයෙන් ද විවිධ ගැටලු පවතින අතර, විහාරමහදේවී ගමේ එක් ගැමියෙකු ‘අරුණ’ට පැවසුවේ, ‘‘ගෙවල් දුන්නෙ නැති බැරි අයටම නෙමෙයි. ග්‍රාමසේවක මහත්තයා ‘ඕ කේ’ එක දුන්නනං, ‘ප්‍රා ලේ’ අනුමත කළා නං ඕන කෙනකුට දුන්නා… කොළඹ ඉන්න නළුවෙකුගෙ නෝනෙකුගෙ නමටත් මැදවච්චියෙන් ඉඩමක් ලැබුණා… ඒ විතරක් නෙවෙයි මේ පළාතේ කෝටිපති මුදලාලිල දෙන්නෙකුගෙ නමටත් මැදවච්චියෙන් ඉඩම් ලැබිලා තියෙනවා…’’
මේ ආකාරයට ඉඩම් දීමේ සිට, විවෘත කිරීමේ උත්සවයේ සිට, බැලු බැලු අතේ ‘කඩතොළු පෙනෙන්නට පටන් ගන්නා’ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ‘සැමට සෙවණ’ නිවාස ව්‍යාපෘතියේ තවත් පැත්තක් අනාවරණය කරමින්, තවත් ගැමියෙකු පැවසුවේ මෙසේ ය.

‘‘ආණ්ඩුවෙන් දෙනව නං, ‘මන්න පාරක් හරි කමක් නෑ’ කියල මාත් ඔන්නොහේ මගේ නම දුන්නා… අපිත් එදා ඉඳන් ‘කැපුවත් කොළ’ හින්දා අපේ ආණ්ඩුවක් ආ වෙලාවක වැඩක් කරගන්නත් එපායැ… ඒත් අන්තිමට අපි රැවටුණා… බලා ඉන්න අයට මේ ගෙවල් නිකං දෙනව වගේ පෙනුනට ඇත්තටම මේක මහ ණය උගුලක්… සියයට 6 ක විතර පොලියකුත් අය කරනවා… මම, මට දුන්නුගෙට රුපියල් 5,900 ක විතර මාසික වාරිකයක් ගෙවන්නත් ඕන… අපටයි කියල එහෙමට ආදායමකුත් නෑනෙ… අනේ මන්දා දැන් අපිව හොයාගෙන අධිකාරියෙ මහත්තුරු ගෙවල් වලටත් එන්න පටන් අරං… ’’
නිවාස අධිකාරිය මඟින් ‘ලක්ෂ .5කට’ තක්සේරු කර තිබෙන මෙවැනි ගෙයක සැලසුම අනුව ද එය ‘රැවටිල්ලක්’ බව කියන තවත් ගැමියෙකු ‘අරුණට’ කීවේ මෙවැන්නකි.

‘‘මේ ගෙවල් වල ඉන්න අමාරුයි… එක කාමරයයි, සාලෙ කෑල්ලයි, කුස්සියයි, ඉස්තෝප්පුවයි විතරයිනෙ… ඒ මදිවට වහලෙත් පාතයි… රස්නෙ කාලෙට නං ඉන්නම බෑ…’’

අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාතේ කුඩාවැව එක පෙළට පිහිටා තිබෙන ශ්‍රි විභූතිගම, සඳදිනුගම, ජන්මඅභිමානීගම යන ‘උදාගම්මාන තුනේ’ ගෙවල් 126 ක් පමණ ඉදිවී ඇති අතර මේ වන විට ගෙවල් 80කටත් වඩා වැඩි ප්‍රමාණයක් ‘වැසී ගොස්’ තිබේ. ඒ ද ‘ජලය නොමැතිවීම’ නිසා ය. රඹෑවේ ‘විහාරමහදේවිගම’ ගම්වැසියන්ට ඉදිවෙමින් පවතින ලිඳ ගැනවත් බලාපොරොත්තුවක් ඇතත්, කුඩාවැව ‘උදාගම් තුනේ‘ ගම්වැසියන්ගේ ‘ජල ප්‍රශ්නයට විසඳුමක්’ පේනතෙක්මානයක නැත.

එපමණක් ද නොව, මෙකී උදාගම්මාන නිසා, ඒවා ඉදිවීමට කලින් එම ප්‍රදේශයේ ‘හේන් වගා කළ‘ පැරණි ගම්මාන වල ගම්වැසියන් ද ‘කබලෙන් ළිපට වැටී’ තිබේ.

‘‘උදාගම්වල ගෙවල් 80 ක් 90ක් වහලා දාලා තියෙන්නේ… තවත් ගෙවල් ටිකක් කුලියට දීලා… මේ ගම් තුන හින්දා අපි අවුරුදු හතළිස් ගාණක් එකදිගට වගා කළ හේන් ටිකත් නැති වුණා… මම තල අක්කර දෙකක් විතර එකයායට වගා කරලා තියෙද්දි තමයි බලෙන්ම වගේ ඉඩම් ඩෝසර් කළේ… ඒ අක්කර දෙකට බලපත්‍රයක් පවා තිබුණා… මං වගේ හේන් ගොවිතැන් කරගෙන හිටපු තවත් 20 කට විතර මට වෙච්චි දේම වුණා…’’ යැයි එච්. පේමරතන ගොවි මහතා කීවේ ය
‘‘අපිත් අවුරුදු 10 ක් විතර මෙතන හේන් වගා කළා… අඩුම තරමෙ අපට ඉඩං කෑල්ලක්වත් දුන්නෙ නෑ…’’ යි පැවසුවේ, කේ. ඒ. ඒ. ප්‍රියංගනී ජයසුන්දර මහත්මියයි.

‘‘ සල්ලි බාගෙ තියන ටවුන් වල මිනිස්සුන්ට ඉඩම් දුන්න හින්දා තමයි හුඟක් අය ගෙවල් දාලා ගිහින් තියෙන්නෙ… කුඩාවැව, කීරික්කුලම , කෝණිමාන්කුලම , ගල්කුලම , කරුවලගස්වැව කියන අවට ගම්මාන වල හිටපු දුප්පත් මිනිස්සුන්ට ඉඩම් ලැබුණෙ නෑ… මේ ගම්වල එක ගෙදර පවුල් දෙක තුන ඉන්නවා… අපේ අනාගත පරම්පරාවට පදිංචි වෙන්න තිබුණ ඉඩං තමයි මේ විදියට පිට මිනිස්සුන්ට දුන්නේ…’’

මීට අමතරව මේ කියන ‘උදාගම්’වලට නම් යෙදීමේ දී ද අමුතු අමුතු දෑ සිදුවිය. මුලින් මුලින් මේවාට යෙදුණේ, ජයනදගම, සැළමුතුගම, රන්කෙත්ගම, සඳරැස්ගම, ශ්‍රී විභූතිගම ආදී ‘අර්ථවත් මෙන් ම අලංකාරවත් නම්’ ය. පසුව එ.ජා.ප.යේ පැරණි දේශපාලනඥයන්ගේ නම් සිහිපත් කරමින්, ‘ශ්‍රීමත් ඩඩ්ලි සේනානායක ගම’ වැනි නම් ද යොදන්නට පටන්ගත් අතර පසුව එ.ජා.ප.යට සම්බන්ධ තවත් අයගේ නම් ද යොදන්නට පටන්ගත්තේ ය. එ.ජා.ප.යේ භික්ෂු පෙරමුණේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද හිමියන් වෙනුවෙන් ද ගමක් නම් කළ අතර, ඩී.එම්. අමරතුංග වැනි, ප්‍රදේශීය මට්ටමින් පක්ෂයේ සංවිධායකයන් ලෙස කටයුතු කළ අය වෙනුවෙන් ද ගම්මාන තැනෙන්නට පටන්ගත්තේ ය.

මේ අතර ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’, ‘කුමාරි සිතුපහන් ගම’ ආදී වූ විහිළු සහගත නම් වලින් ද ‘උදාගම්මාන’ විවෘත වන්නට පටන්ගත් අතර, මේවායෙහි පදිංචි වන පුද්ගලයන්ට ‘විහිළුවට ලක්නොවී’ තමන්ගේ ගමේ නම පවා කියන්නට බැරි තත්වයක් උදාවන්නට විය.

මේ අතර ලසන්ත වික්‍රමතුංග, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන්ගේ නම්වලින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‘ගම්මාන නම් කරන්නට’ ගිය අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත නිව්ෙයා් ර්ක් සිට ලිපියක් යොමු කළ පෝද්දල ජයන්ත පවසා තිබුණේ, ‘තමන්ගේ නම කිසිම ගමකට නොදමන ලෙස’ ය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ගම් විස්තරය මෙතෙකින් නිමා නොවන අතර, මේ නිවාස ව්‍යාපෘතිවල වැඩ සඳහා ම හම්බන්තොටින් ගෙනැවිත්, නිවාස අධිකාරියට සේවකයන් පිරවූ බව අධිකාරිය ඇතුළින් ම මැසිවිලි නැගෙන්නට පටන්ගත්තේ ය. නිවාස අධිකාරිය සුරැකීමේ සංවිධා නය පවසන ආකාරයට එහි සිටිය යුතු අනුමත සේවක සංඛ්‍යාව 2164ක් වුවත්, දැනටමත් එහි අනුම සේවක සංඛ්‍යාවට අමතරව තවත් 5000 කටත් වඩා බඳවාගෙන තිබේ. නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කළ සේවක සේවක සංඛ්‍යාව පසුගිය කාලයේ 75 සිට 1800 දක්වා ඉහළගොස් තිබීම අනුව අධිකාරියේ ‘සේවක අතිරික්ත ප්‍රශ්නයේ බරපතලකම’ තේරුම්ගතහැකිය. එහෙයින්, සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ‘සැමට සෙවණක් නිවාස ව්‍යාපෘතිය’ නිසා ම, මීට අවුරුදු 40කට ඉහත දී ඔහුගේ ම පියා විසින් ආරම්භ කළ ‘නිවාස සංවර්ධන අධිකාරිය’ ද වළපල්ලට යමින් තිබෙන බව පෙනේ. මෙම අර්බුදයේ බරපතලකම කොතෙක් ද යත්, ඇතැම්විට ලබන මාසයේ සිට අධිකාරියේ සේවකයින්ගේ ‘මාසික වැටුප’ ද එකවර ගෙවිය නොහැකි තත්වයක් උදාවෙමින් පවතින බව පෙනේ.

මේ අතර මෙකී උදාගම්මාන ව්‍යාපෘති හරහා ‘නිදන් මංකොල්ලයක්’ ද සිදුවෙමින් පැවති බව අවස්ථා කිහිපයකදීම වාර්තා වූ අතර ඒ අනුව ඇතැම් ව්‍යාපෘති අතරමඟ නවත්වන්නට ද සිදුවී තිබේ. අනුරාධපුර විජිතපුරේ දුටුගැමුණු – එළාර යුද්ධයට පසුබිම් වූ ඉපලෝගම ප්‍රදේශයේ ඉදිකරන්නට ගිය ‘උදාගම්මානයක්’ නිසා පුරාවස්තු විනාශ සිදුවීමත්, ඉන්පසුව කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශසයට අයත් වලුවර්කෝට්ටම් නම් උදාකළ ගම්මානය නිසා වසර 2500 – 3000 ක් පමණ පැරණි සොහොන් කොත් රාශියක් විනාශ වීමත්, උදාහරණ වේ.

ඊට අමතරව ‘කුඩා කුඩා ගෙවල් විස්සක් තැනූ පමණින්’ මෙම උදාගම්මාන, ‘ගම්මාන’ බවට පත්වේ ද, යන ‘ප්‍රශ්නාර්ථය’ මතුවන අතර, ක්‍රීඩාපිටියක්, ප්‍රජාශාලාවක්, විහාරස්ථානයක්, පාසලක්, කඩමණ්ඩියක් ආදී වූ ගමක් සමන්විත යුතු අවම අංග ලක්ෂණවත් ඒවායෙහි දකින්නට ලැබෙන්නේ නැත. එපමණක් නොව ඩෝසර්කර තනන ගමක ගහකොළක්වත් ඉතිරිවන්නේ නැත.

මේ අර්ථයෙන් ගත් කළ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ පියා වූ ආර්. ප්‍රේමදාස අගමැතිවරයා විසින් පටන්ගත් ‘උදාගම්මාන’ මීට වඩා සිය දහස් ගුණයකින් ‘පරිපූර්ණ වූ බව’ ද අමතක කළ නොහැකි ය. ඒවායේ පාසල්, පන්සල්, පුස්තකාල, කඩමණ්ඩි මතු නොව, ගැමියන්ට ජීවනෝපාය මාර්ග සකස්කර දෙන කම්හල් ආදිය ද තිබිණි.  එහෙයින් ‘තමන් පියාගේ අඩිපාරේ යන්නේ යැයි’ නිතර පවසන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, සිය පියාගේ ‘ගම්උදාව නමැති සංකල්පයට’ සැතපුම් ගණනාවක් පසුපසින් සිටින්නේ යැයි ද කිව හැකි ය.

සුරේඛා සමරසේන
සරත් දිසානායක – රඹෑව

No comments:

Powered by Blogger.