නීතිය මත පාලනය නුරුස්සන පාලකයා ඒකාධිපතියෙකි!


ඇත්ත සහ නැත්ත

ලංකාව නීතියේ පාලනය හොඳින් සහ විධිමත්ව පවතින රටක් නම් ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිරදඳුවම් ලබන්නෙකි. උත්ප්‍රාසය නම් නීතියට වෙට්ටු දමමින් ඔහු රටේ නායකයා වීමට පෙරුම්පුරයි. මේ ගැන ලැජ්ජාවිය යුත්තේ කවුරුන් ද?

ලංකාව නීතියේ පාලනය හොඳින් සහ විධිමත්ව පවතින රටක් නම් ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව ජනාධිපති, අගමැති ඇතුලු මැති ඇමතිවරු ගණනාවක්ම සිරදඬුවම් ලැබිය යුත්තෝ වෙති. අප පැහැදිළිව දකින්නේ රාජ්‍ය බලය පරිහරණය කිරීමට වරම් ඇත්තෝ සහ රාජ්‍ය බලයට උැරුමකම් කියන්නෝ නීතියට ඉහළින් සිටින තත්වයක් රටේ පැහැදිළිවම පවතින බවය.

දූෂණය සහ අපරාධවලට වගකිව යුත්තෙක් ශිෂ්ඨ පාලකයෙකු වන බවට කටමැත දෙඩවීමත්, පිරිහුණු භික්ෂූන්ගේ ආශිර්වාද ලබමින් ආගමික වතාවත්වල නිරතවීමත් ලංකාවේ දේශපාලනය සහ ආගම තුළ පවත්නා විකාරරූපී තත්වයකි.

දූෂණය සහ අපරාධ නීති ගරුක පුරවැසියන් නොයිවසුව ද, ඉහළ තලයේ දේශපාලඥයන්ට ඒ දෙකම තම තමන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකය. යහපාලන ආණ්ඩුව ගතවුණු කාලය තුළ විශද කළේ අපරාධකරුවන් ආරක්ෂා කරන බව හා දූෂිතයන් රකින බවය. නීති ගරුක පුරවැසියන් අධිකරණයෙන් යුක්තිය පසිඳලන අන්දම දෑස් දල්වා බලා සිටිය ද දෑස් නිලංකාරවීම පමණකි උරුම වී තිබෙන්නේ.

ජනාධිපති සිරිසේන පසුගිය දිනෙක පැවසූවේ තමාගේ කාලය තුළ ආණ්ඩුවේ තුවක්කුවලින් කිසිවෙකු ඝාතනය නොකෙරුණ බවය. එය සැබෑවකි. එහෙත් ඒ ප්‍රකාශය තුළ කියැවෙන වැදගත් තවත් කරුණක් තිබේ. ඒ කුමක් ද? ඔහු ද ඇමතිවරයෙකුව සිටි රාජ්‍ය පාලන සමය තුළ ආණ්ඩුවේ තුවක්කුවලින් මනුෂ්‍ය ඝාතන සිදු වුණේය යන්න එයයි.

තමන්ගේ කාලයේ ආණ්ඩුවේ තුවක්කුවලින් කිසිවෙකු ඝාතනය නොවීම ගැන ගෞරවයක් ජනාධිපති සිරිසේනට උරුමකළ හැකි ද? නොහැකිය. ඒ මන් ද? ආණ්ඩුවේ තුවක්කුවලින් ඝාතනය කළ ඝාතකයන් සියලු දෙනාම ඔහු ආරක්ෂා කළ බැවිණි; ආරක්ෂා කරන බැවිණි. ඝාතනයන්ට පදවි තානාන්තර - උසස්වීම් නිබඳව ලබාදුන් බැවිණි; ලබාදෙන බැවිණි.

ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය පාලකයා වීමට පෙරමං බලන්නේ පන්සල් යමින් තමන් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකු බව විදහාපාමිනි. ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වශයෙන් ගත කළ කාලය තුළ රටේ සිදුවුණු අපරාධවලට මෙන්ම, ඇතැම් බරපතල දූෂණවලට වගකිව යුත්තෙක් බව අධිකරණයකින් තීන්දු නොකිරීමට දිගින් දිගටම අවසර නොලැබීම හේතුවෙන් ඔහුට ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකු ලෙස ව්‍යාජ රංගනයක නිමග්න වීමට පුලුවන් වී තිබේ. ඔහුගේ උත්සාහය කෙසේ ‌හෝ රටේ පාලකයා ලෙස පත්වීමටය. බලය නොමැතිව නීතිය තමන්ට අවශ්‍ය අන්දමට හසුරවන හෙතෙම බලය උරුම කර ගතහොත් නීතියට අත්වන ඉරණම කුමක් විය හැකි ද?

වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම කියා සිටියේ ගෝඨාභය රාජ්‍ය පාලනයට නුසුදුස්සෙකු බවය. මේ වන විට වාසුදේව නානායක්කාර සිය ස්ථාවරය වෙනස් කරගෙන සිටින්නේ ඔහුට, ඔහු‌ගේ නිගමනය වැරදි යැයි අවබෝධවීමත් නිසා නොවේ. ආත්ම ගරුත්වයක් හෝ ආත්ම විශ්වාසයක් නැති දේශපාලඥයෙකු බවට ඔහු පත්ව සිටින නිසාය.
කුමාර වෙල්ගම පැහැදිළිවම සිය මතයේ තවමත් පිහිටා සිටියි. කුමාර වෙල්ගමට තිබෙන ආත්ම විශ්වාසය හෝ ආත්ම ශක්තිය නොමැති නිසා ශ්‍රීලනිපයේ බොහෝ දෙනෙකු මුනිවත රැකීමට වගබලානෙය. කෙසේ වෙතත් ගෝඨාභය කරලියට පැමිණීමෙන් පසුව රටේ විවිධ තලවල දේශපාලඥයන්ගේ ද, රාජ්‍ය නිලධාරීන්ගේ ද, බහුතර ජනතාවගේ ද සිත් තුළ කිසියම් තිගැස්මක් ඇති වී තිබෙන බවත්, එය වැඩී වර්ධනය වන බවත් පැහැදිළි කාරණාවකි. සියලු දෙනාම එකම අන්දමට තේරුම් නොගත්තත්, කාගේත් තිගැස්මට පාදක වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිවාදය ගෝඨාභය පාලකයා වුවහොත් තෝරා ගන්නා බවට සැකයන් නැති කමය.

සම්මතයෙන් පිට වැඩ කිරීම

ගෝඨාභය නිලධාරියෙකු බවට පත්වන්නේ සහෝදරයා ජනාධිපති වීම නිසාය. ඔහු බලය පරිහරණය කළේ රාජ්‍ය නිලධාරියෙකුට අභිමත අන්දමට නොවේ. ඒ සඳහා ඔහු අනුගමනය කළේ අධිපතිවාදී ක්‍රමයකි. ඔහුට අනුව එය සම්මතයෙන් පිට වැඩ කිරීමය. සම්මතයෙන් පිට වැඩ කිරීමට වෙනත් රාජ්‍ය නිලධාරියෙකුයට නොහැකිය. ඊට හේතුව ඔහු හෝ ඇය නිසැකවම රටේ නීතිරීතිවලට අනුගතව රාජකාරි කළ යුතු බැවිණි. තමා සම්මතයෙන් පිට වැඩකළ බව ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරළියට අවතීරණව පැවසුවේ අවධාරණයෙනි. ඉන් ඔහු පවසා සිටියේ තමා රාජ්‍ය පාලනයේ දී නීතිරීති කිසිවක් නොසලකා හරින බවය. නීතිරීති තමන්ට වැඩක් නැති බවය. එහෙත් ඔහුගේ කතාව තුළම ඊට ප්‍රතිවිරෝධී කාරණා ද අපමණ විය. ඔහු නීතිය ගැනත් විනය ගැනත් කතා කළේය. දූෂණය ගැනත් කතාකළේය. ඔහුගේ කතාව ලියන ලද පුද්ගලයා අනුගමනය කර තිබෙන්නේ ජනසමාජය තුළ ‌ගෝඨාභය සම්බන්ධයෙන් මුල් අල්ලා තිබෙන භීතිය තුරන් කිරීමේ පිළිවෙතකි. එහෙත් ඒ පිළිවෙත එහෙම පිටින්ම ව්‍යාජ එකක් බැවින් පුපුරා තිබෙන අන්දම දැන් දැන් කවුරුත් වටහා ගනිමින් සිටින සැටි පැහැදිලිය.

රාජපක්ෂවරුන්ගේ රාජ්‍ය පාලනය තුළ පැවති බරපතල වරද වන්නේ ඔවුන් නීතියට ඉහලින් සිටීමට නිතරම උත්සාහ කිරීමය. නීතියට ඉහලින් සිටීම සඳහා නීතිය අවශ්‍ය අන්දමට සකස් කිරීමට ද ඔවුහු වගබලාගත්හ. බලය අහිමි වුණ පසුව ඔවුන් කටයුතු කළේ නීතියට විවිධ ක්‍රමවලින් පිටුපාමිනි. රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ට සම්බන්ධ සියලු පුද්ගලයන්ට පවරා තිබෙන නඩු විභාග කිරීම කල් මරමින් සිදුවන මන්දගාමී කටයුත්තක් බව කවර පුද්ගලයෙකුට වුව හොඳින්ම වැටහී තිබෙන කරුණකි. අධිකරණය ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කරන විට අදෘශ්‍යමාන අත්භූතභාවයකි පෙනී යන්නේ. ‌ඊට අදාළ පදනම භීතිය විනා අන් කිසිවක් විය නොහැකිය. මෙහිදී පැහැදිළිව මතුවෙන ප්‍රබල කාරණාව වන්නේ තුවක්කුව නැතිව එල්ලකරන තර්ජනයට වඩා තුවක්කුව ඇතිව එල්ලකරන තර්ජනය අතිභායානක බව ය. ඒ ඔස්සේ රට ගමන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නාම පුවරුවක් බවට පත්කරගෙන ඒකාධිපති පාලනයක් දෙසටය. ඒගැන සැකයක් නැත.

රාජ්‍ය පාලනලයේ දී සම්මතයන් යනු නීති ය. නීතියේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමයි. ඊට එරෙහි කටයුතු කිරීම කිසියම් පිරිසකගේ උද්දාමයට හේතුවන්නේ නම් ඒ කවුරුත් නීතියේ පාලනය නොඉවසන්නෝ වෙති. ඔවුහු බලය අවභාවිත කිරීමට ද නීතියට පිටුපෑමට ද කැමැත්තෝ වෙති. මේ සම්බන්ධව රටේ බහුතර පුරවැසියන් තුළ තිබෙන අවබෝධය සාධනීය වේ. එහෙත් පාලකයන් පාලනය කිරීමට රටේ නීතිය බලාත්මක නැති තත්වයක් විද්‍යාමාන වීම නිසා බොහෝ දෙනා තුළ තිබෙන්නේ අපේක්ෂා භංගත්වයකි.

ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ නීතිය මත පාලනය පිටුදකිමින් රාජ්‍ය පාලනය කිරීමට නැඹුරු වුණ රටක් බව පැහැදිළිය. නීතියේ පාලනය පිටු දැකීමට අදාළ යාථාර්ථයක් ද තිබේ. එය නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම සහ වගවීම සාපරාධී අන්දමට කාලයක් තිස්සේ රට පාලනය කළ කවුරුත් අඩුවැඩි වශයෙන් බිඳ දමා තිබීමය.

අදවන විට රටේ සියලුම රාජ්‍ය ආයතන තුළ වැඩකටයුතු කරන්නේ බලය විහිදන එළියට අනුව බව සත්‍යයකි. මේ නිසා සාමාන්‍යයෙන් කවරෙකු වුව තමන්ගේ අවශ්‍යතා මුදුන්පත් කර ගැනීමට හොර පාරවල්වල ගමන් කිරීමටම පෙළඹීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මේ අවකාශය තුළ ප්‍රාදේශීය දේශපාලඥයා ද බලය අවභාවිත කිරීමට පෙළඹී ඇත. කළ දුටු කළ වල ඉහ ගන්නට සමත් නිලධාරීන් ද නීතිරීති නොතකන්නටත් ප්‍රතිලාභ ලැබෙන අන්දමට වැඩ කරන්නටත් පෙළඹී ඇත. මෙහිදී අවබෝධ කරගත යුත්තේ සම්මතයෙන් පිට වැඩ කිරීම හෙවත් නීතිය නොතකා වැඩ කිරීම රාජ්‍ය පාලකයාගේ දැක්ම වුවහොත් රට වැසියන් කවුරුත් කිසියම් අවකාශයක් තුළ නිසැකවම විනාශයට ගොදුරුවන්නේය යන්නයි. එය සිවිල් බලයක් නැති අහිංහකයෙකුට පමණක් නොව අධිකරණ පද්ධතියේ සියලු තරාතිරම්වල නිලධාරීන්ට ද විඳවන්නට සිදුවන්නෙකි.

රටේ ප්‍රධාන ප්‍රශ්නය

ලංකාවට වඩා පහළින් තිබුණ ආසියාවේ සියලුම රටවල් පාහේ අද තිබෙන්නේ ලංකාවට ඉහළින්ය. එවැනි තත්වයක් ඇති වීමට බලපෑවේ කුමක් ද? මේ ප්‍රශ්නයට විවිධ ක්ෂේත්‍රවල විවිධ මට්ටම්වල පුද්ගලයන් දක්වන හේතු අප්‍රමාණය. අධ්‍යාපනය පිරිහීම, දේශපාලඥයන්ගේ සොරකම් කිරීම ඇතුළුව රාජ්‍ය නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාවය දක්වා කරුණු ලැයිස්තුවක් දැක්විය හැකිය. ඒ කරුණු සියල්ලටම අදාළ මූලික සාධකය කුමක් ද? මේ පැනයට පිළිතුරක් සොයා ගැනීමට හොඳම මාර්ගය ලංකාවට පහළින් තිබුණ රටවල් දියුණු වී තිබෙන්නේ කෙසේදැයි සොයා බැලීමය. සැබවින්ම ඒ හැම රටක්ම ගොනැගීමට පාලකයන් ප්‍රථමයෙන් සිදුකර තිබෙන්නේ නීතිය මත පාලනය තහවුරු කිරීමය. මේ කාරණය ගැන දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කළ ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියෙකු පෙන්වා දුන්නේ ලංකාවේ රාජ්‍ය ආදායම නිසි අන්දමට නොලැබෙන්නේ නීතිය ශක්තිමත් පදනමක් ක්‍රියාත්මක නොවන නිසා බවය. ඔහු නිදසුනක් ලෙස දක්වා සිටියේ ශ්‍රී ලංකාවේ රේගුවයි. රේගුවෙන් දීර්ඝ කාලයක සිට රජයට ලැබිය යුතු ආදායම නිසි අන්දමට නොලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය. රේගුව තුළ සිදුවෙන දූෂණ අවම කිරීමට තාක්ෂණය භාවිත කිරීමට ආණ්ඩුවක් යම් උත්සාහයක් ගත්තෝ නම්, නිලධාරීන් ප්‍රබලව එය වලක්වන බවය ඔහු පැවසූවේ. රේගුව භාරවන අමාත්‍යවරයා හැම විටම දූෂණයේ ආදරවන්තයෙකු බවට පත්වන බැවින් රේගු නිලධාරීන්ට ඔහුව හීලෑකර ගැනීමට ද, අල්ලේ නැටවීමට ද හැකිවී තිබීම කුප්‍රකට රහසක් බව ද ඔහු පැවසීය. මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ නිශ්චිතව ආයතනයක් හෝ කිහිපයක් තෝරාගෙන ඒ ආයතන විධිමත් කිරීමට ගන්නා උත්සාහයක් සාර්ථක නොවන බවයි. සමස්තයට අදාළව නීතිය බලාත්මක විය යුතු බව ඔහුගේ මතය විය. මේ කාරණය ලංකාවේ අනාගතය සම්බන්ධ වැදගත් හා ප්‍රබලම ප්‍රශ්නය බවය ඔහු පවසා සිටියේ. මේ ප්‍රශ්නය තේරුම් ගැනීමටවත් ලංකාව පාලනය කළ පාලකයන් අසමත් වුණ බවත්, පාලනය කිරීමට කල් මනින්නන් අසමත් වන බවත් ඔහුගේ නිගමනය විය. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ ව්‍යූහාත්මක වෙනසක් සිදුකිරීමට විසල් දැක්මකින් යුත් නායකයෙකුට රාජ්‍ය පාලනයට වරමක් නොලැබීමට රටේ ජනතාවගේ අභාග්‍යයක් බවය.

අප විසල් දැක්මකින් යුත් නායකයා ලෙස දකින්නේ කවුරුන් ද? භික්ෂූන්ට අනුව නම් හිට්ලර් වර්ගයේ කෙනෙකි. මේ වූකලී රටේ රාජ්‍ය පාලනය කඩා වැටී තිබීම ඔස්සේ මතුව තිබෙන බරපතල ප්‍රශ්නයකි.

දිළිඳු සහ නූගත් පුද්ගලයන් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට වහා තෝරා ගන්නා ක්‍රමය වන්නේ ප්‍රචණ්ඩත්වයයි. බන්ධනාගාරගත සිටින සාමාන්‍ය පුරවැසියන් අතුරින් බොහෝ පුද්ගලයන් බන්ධනාගාරගත වීමට අදාළ වී තිබෙන හේතුව ප්‍රචණ්ඩ ක්‍රියාවක නිමග්න වීමය. මේ ප්‍රචණ්ඩ මානසිකත්වය තේරුම් ගැනීමට මාර්ග තදබදය තිබෙන අවස්ථාවක මෝටර් රථයක් නගරයක පැදවීම ප්‍රමාණවත්ය. මාර්ග නීතිරීති උල්ලංඝණය කරන පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ත්‍රීරෝධ රථ පදවන්නන්ය. බරපතල වරදක් කළ විට පවා ත්‍රීරෝධ රථයක රියදුරෙක් ඒ වැරැද්ද කිරීම ගැන කණගාටු වන්නේ වත් නැත. යම් විටෙක ඒ වරද ගැන විමසා සිටිය හොත් පහරදීමටය ඔහු පෙළඹෙන්නේ. අනෙක් කාරණාව වන්නේ ඔවුන් පොදුජනතාව වෙනුවෙන් සේවයක් කරන්නේය යන ගෞරවනීය හැඟීමකින් වියුක්ත වීමය. බොහෝ ත්‍රීරෝධ රථ රියදුරන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිරිසිඳුය. හැඳ පැළඳ සිටින අන්දම මෙන්ම ඔවුන්‌ගේ ස්වරූපය විශද කරන්නේ අවනීතභාවයේ ලක්ෂණය. නීතිගරුක ශිෂ්ඨසම්පන්න ත්‍රීරෝධ රථ රියදුරන්ට නිසි ගෞරවය ලබා දෙමින් මේ සම්බන්ධයෙන් අත්දැකීමක් පැවසීමට කැමැත්තෙමි.

මම දිනක් රාජගිරියේ සිට අලුත්කඩේ උසාවියට යන්නට ත්‍රීරෝධ රථයකට ගොඩ වුණෙමි. ඒ ත්‍රීරෝධ රථයේ පිටුපස වීදුරුවේ ගෝඨාභය රාජපක්ෂගේ පින්තූරයක් අලවා තිබුණි. රිදුරුට ඉහළින් බුදුන් වහන්නේ‌ගේ සහ කතරගම දෙවියන්ගේ පින්තූර දෙකක් ද අලවා තිබුණි. මිනිත්තු කිහිපයකට පෙර දල්වන ලද හඳුන්කූරක් ද ඉදිරියේ තැනෙක දැවෙමින් තිබුණි. වයස අවුරුදු හතළිහක්, හතළිස් පහක් පමණ වයස පුද්ගලයෙකි රියදුරා. ඔහු කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් හැඳ සිටියේය. හිස පීරා නොතිබුණි. රැවුල කපා නොතිබුණි. ත්‍රීරෝධ රථයට ගොඩ වුණ විට තද දුගඳක් මට දැනුණි. ටික වෙලාවක් බලා සිට සොයා ගත් ත්‍රීරෝධ රථය බැවින් සියල්ල ඉවසා ගමන් ගත්තෙමි. බොරැල්ල හන්දියේ වාහන තදබදය දරුණු තත්වයකය. ඔහු ආරම්භයේ සිටම චාරයක් නැතුවය ත්‍රීරෝධ රථය පැදවූයේය. ලීඩෝ සිනමා ශාලාව ඉදිරිපිටින් ඔහු මාර්ගයේ අනෙක් පැත්තෙන් ඉදිරියට යාමට ගත් උත්සාහය නිසා මාර්ගයේ ඒ පැත්තෙන් පැමිණි මෝටර් රථයක ගමන නතර විය. අනතුරක් සිදුවීම වැළැක්වුණේ මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාගේ කල්පනාව නිසාය. මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා රිය නතර කළේය. ඔහු කිසිවක්ම කීවේ නැත. ඔහු හොඳින් ත්‍රීරෝධ රථයේ රියදුරා දෙස බැලුවේය. ත්‍රීරෝධ රථයේ රියදුරා කෝපයෙන් ත්‍රීරෝධ රථය, ඒ වාහනයේ රිදුරු ආසනය පැත්තට ලංකොට අමු තිත්ත කුණුහරප වැලක් කියාගෙන ගියේය. රථයේ ඉදිරියේ අසුනේ කාන්තාවක සිටි අතර පිටුපස අසුනේ තරුණ ගැහැණු ළමයෙකි. මැද පන්තියේ පුද්ගලයෙකි මෝටර් රථය පදවාගෙන යමින් සිටියේ. ඔහු වචනයක්වත් කීවේ නැත. ඉන් දිරිමත්වූවා සේ ත්‍රීරෝධ රථ රියදුරා පැවසූවේ අසා සිටීමට අපහසු අන්දමේ අසභ්‍ය කතාවකි. ඉන් ඉක්බිතිව මාර්ග සංඥා එළි දැල්වුණ විට ඔහු වේගයෙන් ධාවන තීරුවකට රිංගාගෙන ත්‍රීරෝධ රථය පදවන්නට විය. මා කල්පනා කළේ මා ගැනය. ඒ පුද්ගලයා තම ත්‍රීරෝධ රථයේ රැගෙන යන්නේ මනුෂ්‍යයෙකු නොව අජීවී දෙයක් යැයි සිතාගෙන නොවෙ ද හැසිරෙන්නේ? මට මා ගැනම කණගාටුවකි උපන්නේ.

බොරැල්ලේ සම්පත් බැංකුව ඉදිරිපිට මාර්ග සංඥාවලට යලි ත්‍රීරෝධ රථය නතර විය.

ඔහුගෙන් මා කිසිවක් විමසුවේ නැත. ඔහු මට ඇසෙන්නට කීවේ අපූරු කතාවකි,

'' මේ රට හදන්නට බෑ සර් කාලකන්නි මිනිස්සු ඉන්නේ මේ රටේ. කිසි චරියාවක් නෑ. අනක්ගුනක් නෑ. නීතියක් රීතියක් නෑ. වල් හැත්ත. ගෝඨාභය මහත්තයාට තමයි රට හදන්න පුලුවන්. මොකා වුණත් වැරදි නම් මරලම දාන්න ඔ්නෑ. මේ රට හදන්න වෙන ක්‍රමයක් නෑ.''
සිනා සෙන්නට සිතුනි. එහෙත් මම නිහඬව සිටියෙමි. ඔහු යලිත් කතාකළේය.

''අපි දුක්විඳින්නේ හැම එකාම හොරකම් කරන හින්දානේ. එක හොරෙකුටවත් දඬුවමක් නෑ. හැබැයි ඉන්න තරමක් ඉන්නේ හොරු. එක එකාගේ ඔලුවලට ම තියලා ඉවර ම කරන්ඩ ඔ්නෑ.''

මා කල්පනා කළේ හිට්ලර් කෙනෙකු පතන මහානායක හිමියන්ගේත් මේ ත්‍රීරෝධ රථ රියදුරා‌ගේත් වෙනස කුමක් ද කියාය. මම අලුත් කඩේ උසාවිය අසලින් ත්‍රීරෝධ රථයෙන් බැස ගාස්තුව ගෙවීමි. ඔහු මගෙන් මෙසේ ඇසුවේය.

''සර්ට නඩුවක් ද''

මම ඔව් යයි පැවසීමි.

''සර්ලටත් නඩු නේද? මේක හරි අසාධාරණ රටක්. මේ උසාවිවලට හෙන හත වදින්න ඔ්නැ.''
මම ඔහු දෙස බලා සිනාසී උසාවිය දෙසට පියමැන්නෙමි.

මා කල්පනා කළේ මේ පුද්ගලයාගෙන් බොරැල්ල හන්දියේදී බැනුම් ඇසූ පුද්ගලයා ගැනය. ඒ වාහනයේ ඒ වෙලේ සිටියේ මා නම් ! ත්‍රීරෝධ රථයේ ඒ වෙලාවේ සිටියේ ඔහු නම් ...!

මේ පුද්ගලයා කිවූ කිසිවක් ගැන හෝ කියන කිසිවක් ගැන හැඟීමක් නැත්තෙකු බවය මට සිතුනේ. ටික දුරක් ගමන් කරන විට මට මෙසේ සිතුණි.

ඔහුටත් මා මෙසේ කීවානම්...!
''මට මිනීමැරුම් නඩුවක් තියෙනවා. මම ඇප පිට ඉන්නේ.''
ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකි ද?
ඔහු මෙසේ පැවසීමට බැරි නැතැයි මට සිතුණි.
''ඇයි සර් නඩු වැටෙන විදිහට මැරුවෙ?''
මා මේ විස්තරය ඉදිරිපත් කළේ ලංකාවේ පහළම සමාජ තීරුව කොතරම් අසරණ තත්වයක සිටින්නේ ද යන්න ගැන අදහසක් පැවසීමටය.

අසරණකම තුළ දරුණු වීම

රටක ජනතාව අසරණ වන්නේ නූගත්කම නිසාම නොවේ යයි මම සිතමි. දුප්පත්කම නිසා ද නොවේ යයි මම සිතමි. සමාජ අවබෝධය අඩුකම නිසා යයි මම සිතමි.

විභාග සමත් නොකළ දුප්පත් ගැමියෙකු වූ ම‌ගේ පියා ගමේ ප්‍රභූවරයෙකු සමග නඩුවක් කීවේය. අපේ නිවසට එන්නට තිබෙන පාර ඒ ප්‍රභූවරයා ඔහුගේ වත්තට යා කොට වැටක් ගසා ගැනීම නඩුව දැමීමට හේතුවයි. මගේ පියා ඒ ප්‍රභූවරයා සමග කරුණාවෙන් කතාකොට ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට උත්සාහ කළේය.

ගමේ වැදගත් පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගයෙන් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට උත්සාහ කළේය. පලක් වූයේ නැත. ගමක දුප්පත් ගැමියෙකු ප්‍රභූවරයෙකුට විරුද්ධව නඩුවක් පැවරීම එකල බරපතල දෙයකි. ප්‍රභූවරයා වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වුණේ ප්‍රසිද්ධ නීතිඥයෙකු වූ ජේ.ආර්. ජයවර්ධනගේ සහෝදරයාය. අපේ පියා වෙනුවෙන් පෙනී සිටියේ සාමාන්‍ය තත්වයේ නීතිඥයෙකි. දෑහෙන කාලයක් නඩුව විභාග කෙරුණි. නඩුවෙන් අපේ පියා දිනුවේය. නඩු තීන්දුව ලැබුණ දා අපේ නිවෙසට පැමිණි අහල පහල උදවිය ඉතාමත් ගෞරවයෙන් කතා කළේ නීතිය සහ යුක්තිය ගැනයි. දුප්පත් මිනිසෙකුට නීතියේ පිළිසරණ ලැබීමට හැකිවීම ගැනයි. මා කල්පනා කරන්නේ එදා ගැමි සමාජය තුළ දුප්පත්කම පැවතුණද ඔවුන් අසරණයන් නොවූ බවය. අසරණ නොවීමට හේතුව කිසියම් ජීවිතාවබෝධයක් ඔවුන් උරුමකරගෙන සිටීමය. ඒ ජීවිතාවබෝධය නිසා ඔවුන් ප්‍රශ්නයක් අභිමුව ප්‍රචණඩ වූයේ නැත. ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට පෙළඹුණේ නැත. මේ කාරණාව ගැඹුරින් සිතා බලන විට පැහැදිළි වන්නේ එදවස නීතිය හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අදට වඩා ප්‍රශස්ත තත්වයක් තිබුණ බවය. රටක නීතිය හොඳින් ක්‍රියාත්මක වන විට සාමාන්‍ය ජනතාව නීතිගරුක වීම සොබාවය බව මගේ පිළිගැනීමයි.

ගෝඨාභය රාජපක්ෂට රට හදන්නට පුලුවන් යයි කල්පනා කරන උදවිය අතර පහළම සමාජ ස්ථරයන් නියෝජනය කරන පුද්ගලයන් සිටින්නේ නම් ඔවුන්ට තමන් ජීවත්වන රට නීතිය මත පාලනය වන රටක් ලෙස නොදැනී තිබීම ඊට අදාළ කරුණකි. මා ඉහතින් සඳහන් කළ ත්‍රීරෝධ රථයේ රියදුරා අපමණ ජීවන ප්‍රශ්න සමග පොර බදන්නෙකු යයි සිතමි. ඔහු තමාගේ පීඩනය මුදාහරින්නට පෙළඹී සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙනි. ඔහු ‌ගෝඨාභය හඳුනාගෙන තිබෙන්නේ කෙසේ ද? ඉතා පැහැදිළිය. ගෝඨාභයගේ ක්‍රමය ප්‍රචණ්ඩත්වයයි. මේ ප්‍රචණ්ඩත්වය තමන්ට පාරා වලල්ලක් වන බව අර ත්‍රීරෝද රථයේ රියදුරා පමණක් නොව ගෝඨාභයට ආවඩන බොහෝ දෙනා තේරුම් ගැනීමට අසමත්ව ඇති සේය.

ගෝඨාභයත් අසරණ ද? සැබවින්ම ඊට පිළිතුර පැහැදිළිව 'ඔව්' යන්නය. ඔහු යුද්ධය පැවති සමයේ රටින් පිටවෙයි. ඒ ප්‍රාණාශාව නිසා විය හැකිය. ඔහු යලි ලංකාවට පැමිණේන්නේ රටේ නායකයා බවට සහෝදරයා පත්වීම නිසාය. ඔහුට සිවිල් නිලධාරියෙකු වීමට අදාල සුදුසුකම් නැත. ඔහු සිවිල් නිලධාරීන් අණසකට යටත් කරගෙන කටයුතු කිරීමෙන් ප්‍රචණ්ඩත්වය මෙන්ම හිතෙහි ගුලි වී තිබෙන අසරණ කමක් මුදාහැරියේය. ඔහු දකින්නේ සම්මතයන්-නීති, තමන්ට හතුරු සාධක බවයි. ඒවා පවතින්නේ යහපත් රාජ්‍ය පාලනයකට බව ඔහු වටහා ගන්නට අසමත්ය.

අසරණ වූ පුද්ගලයා නපුරක් කරන්නට පෙළඹෙන්නේ දෙවරක් නොසිතමිනි. ඔහුට අවශ්‍ය වන්නේ මොන විදිහකින් ‌හෝ ඔහුගේ පැවැත්ම පමණි. ගෝඨාභය රාජකාරී කරන විට ඉඩම් පවරාගත් අන්දම ගැන අනුවේදනීය කතා අපමණය. සාහසික ක්‍රියා ඊටත් වඩා වැඩිය. එහෙත් දිළිඳු ජනතාව ඔහුගේ අධිපතිවාදී ක්‍රමවේදය හඳුනාගන්නට අසමත්ය. කවර පුද්ගලයෙකුගේ වුව ඉඩමක් - දේපළක් රජයට පවරා ගන්නට නීත්‍යානුකූල ක්‍රමවේදයක් ඇත. ගෝඨාභය ඒ නීත්‍යානුකූල ක්‍රමවේදය තුට්ටුවකට මායිම් කළේ නැත. නීතිය හා නීත්‍යානුකූල ක්‍රමවේද නොයිවසීම ම අසරණකමේ ගති සොබාවයකි.

වේගවත් සංවර්ධනය යනු කුමක් ද? බෞතික වශයෙන් ඇතිකරන දියුණුවයි. රටේ ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් දිළිඳුය. අගනුවර ජනගහනයෙන්ද වැඩිම ප්‍රතිශතයක් දිළිඳුය. බෞතික වශයෙන් ගොඩනගන දේවල් ඔවුන්ගේ ජීවනයේ තත්වය ඉහළට එසවීමට සමත් නොවේ. එහෙත් ඒ බව දිළිඳු ජනතාව ද තේරුම් ගැනීමට අසමත්ය. මේ අසරණ කම නොවේ ද?
ළමා රෝහලේ වෛද්‍යවරියක මා සමග පැවසුවේ දිළිඳු අඹුසැමියන්ට කොපමණ දැනුවත් කළත්, දරුවන්ට ගෙදර පිසින ලද ආහාර ලබාදීම නොකරන බවත්, බර්ගර් වැනි රසකාරක යෙදූ කෑම ලබාදීමට හැමවිටම උත්සාහ ගන්නා බවත්ය. හොඳ එළවළු සහ පළතුරු මධ්‍යම පන්තියට විකුණා ලබන මුදලින් ෆයිඩ් රයිස් කන සමාජය ඒ අසරණභාවයෙන් මුදවා ගැනීම විශාල අභියෝගයක් බව ද ඒ වෛද්‍යවරිය පැවසුවාය.

ලංකාවේ විවිධ සමාජ ස්ථරවලින් අවිචාරවත් ලෙස ගෝඨාභයගේ පාලනයට කැමැත්තක් දක්වන උදවිය සිටින්නේ නම්, ඔවුන් සියලු දෙනාම අන්ත අසරණයන්ය. ළඟ බලන දුර බලන්නට අසමත් පුද්ගලයන්ය.

රටක ජනතාව බොරුවට චාටුවට රැවටී කරගෙන තිබෙන දේවල් දැන් හොඳටම ඇත. බොරුවට චාටුවට රැවටී විනාශය ලඟාකර ගැනීම භයානක බව ජනසමාජය වටහා ගත යුතුව තිබේ. බොරුකාරයන්ගේ සබෑ තත්වය ගැන නිදසුනක් මෙසේය.
මහා දේශප්‍රේමියෙකු අත්අඩංගුට ගත් අවස්ථාවේ ඔහු හඬාවැටුන අන්දම ගැන කරුණු පැවසූ උසස් පොලිස් නිලධාරියෙකු පිළිකුලෙන් යුතුව අවසන පැවසුවේ මහා සද්ධ අහිංසක මිනිස්සු රවට්ටමින් දැම්මට කොටුවුණ බව තේරුණ පළවෙනි තප්පරේදිම අන්ත අසරණ කාඩ්බෝඩ් වීරයෙක් බව තමයි පැහැදිළි වුණේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරවණීය පාලකයා නීතිය මත පාලනය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. නීතිය මත පාලනය නොයිවසන්නා සත්‍ය වශයෙන්ම ඒකාධිපතියෙකි.

ජනතාව අභිමුව තිබෙන්නේ මේ ප්‍රශ්නයයි. දැන් කරළියට ඒකාධිපතියෙකු ලෙස රට පාලනය කිරීමට සූදානම් කෙනෙකු පැමිණ සිටියි. කවර අඩුපාඩු ඇතත් ජනතාව රාජ්‍ය පාලනයට භාරදිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රැකගැනීමේ කාර්යභාරයට උරදෙන්නෙකුටය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කටමැත දොඩවන්නන් බලය පරිහරණය කළ අන්දම හොඳින් හඳුනාගෙන සිටින නිසා කිසිවෙකු අසරණ විය යුතු ද නැත. ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකගන්නේ ද? අවසන් කර ගන්නේ ද?
අපි අපේ පරමාධිපත්‍ය බලය මොන අන්දමකින් හෝ ආරක්ෂා කර ගැනීමට කැපවෙමු.

මහාචාර්ය සරත් විජේසූරිය
(අනිද්දා)

No comments:

Powered by Blogger.