මහින්ද එපා කියද්දීම ගෝ‍ඨා යළි මුස්ලිම් විරෝධය අවුළුවයි.


රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව දිවයින පුරා යළි විරෝධතා පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. 

ඒ අනුව ඊයේ (31) අහංගම ප්‍රදේශයේදී රිෂාඩ් බදූර්දීන් මහතා පැමිණීමට නියමිතව තිබුණු හෝටල් පාසලක් විවෘත කිරීමේ උත්සවයකට දැඩි විරෝධයක් එල්ල කිරීමට පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයින් සහ පක්ෂ සාමාජිකයින් ක්‍රියාකර තිබිණි. කෙසේවෙතත් සෘජුවම පක්ෂයේ නම භාවිතා නොකරන ලෙස ඔවුන්ට උපදෙස් ලැබී තිබුණු බැවින් "රටට ආදරේ ජනතාව" යනුවෙන් සඳහන් බැනර් එහිදී ප්‍රදර්ශනය කෙරුණු බවයි වාර්තා වූයේ. 

මීට පෙර ද රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු මොහොතේ ද "රිෂාඩ් බදූර්දීන්ට විරුද්ධව ඡන්දය නොදී ගමට එන්න එපා" යනුවෙන් සඳහන් බැනර් රටපුරා ප්‍රදර්ශනය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළේය. 

රිෂාඩ්, එන්නෙ නැද්ද ඔයා ?

බදූර්දීන් මහතාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාගැනීමේ අරමුණින් ටික කාලයක් බදූර්දීන් විරෝධය අත්හිටුවා තිබුණු නමුත් අවශ්‍යතාව ඉටුවන ආකාරයක් පෙන්නුම් නොකෙරෙන බැවින් මෙසේ යළි බදූර්දීන් විරෝධයත් ඒ හරහා පොදුවේ මුස්ලිම් විරෝධයත් රටපුරා ප්‍රබල මට්ටමකින් ඇවිළවීමට පොහොට්ටුව තීරණය කර ඇත. 

ඊයේ අහංගම පැවති උත්සවයට බදූර්දීන් මහතා පැමිණීමට නියමිතව තිබුණු හෙයින් ඔහුට එරෙහිව කළු කොඩි, විරෝධතා බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පාගමනක් පවත්වා තිබුණු අතර පොහොට්ටු විරෝධතාකරුවන් විසින් උත්සව භූමිය වටළා, ඊට කිසිවකුට ඇතුළු වීම අවහිර කරමින් සිටියදී පොලිසියේ මැදිහත් වීමෙන් බුද්ධික පතිරණ සහ කරුණාරත්න පරණවිතාන යන එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් පමණක් සහභාගී වෙමින් උත්සවය ආරම්භ කෙරිණි. 

එහෙත් හෝටල් පාසල අවට රොක්ව සිටි විරෝධතාකරුවෝ බදූර්දීන් මහතාගේ නම සඳහන් කෙරෙන අවස්ථාවල හූ කියමින් විරෝධය පෑ අතර අහංගම එජාප සංවිධායකවරයා කතා කරනවිට ද හූ කියමින් විරෝධය පළ කළහ. 

මහින්දගේ අවවාදය සහ ගෝඨාගේ සුපුරුදු ක්‍රමය.

කෙසේවෙතත් මුස්ලිම් දේශපාලනඥයින්ට ප්‍රහාර එල්ල නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සති කිහිපයකට පෙරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපදෙස් ලබාදී තිබුණු අතර එය නොතකා ක්‍රියා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට හිතවත් කණ්ඩායම් යොදවා ඇති බවයි වාර්තා වූයේ. 

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලිම් ජනතාවගේ ඡන්දය තීරණාත්මක බැවින් ඔවුන්ට එක්වීමට දොරටු හැර තැබිය යුතුය යන්න මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මතය වී ඇත්තේ එක් පසෙකින් තමන්ට දැනටමත් ඇති සිංහල ඡන්ද රැකගැනීමටත් ආණ්ඩුවේ සිංහල ඡන්ද කැඩීමටත් මුස්ලිම් විරෝධය සුපුරුදු පරිදි භාවිතා කළ යුතු බවත් සමාජයෙන් දැඩි පීඩනයක් එල්ල කෙරෙන්නේ නම් මුස්ලිම් දේශපාලනඥයින්ට වුවත් අවසානයේ ආරක්ෂාව සොයා තමන් වෙතම එන්නට සිදුවන බවත්ය. 

මෙය තමන් 2015ට පෙරත් අත්හදා බැලූ ක්‍රමයක් බවත් ඒ මහතා අවධාරණය කර ඇත. 

ඒ අනුව තම පිරිස් බලය යොදවා සංවිධානාත්මකව මුස්ලිම් දේශපාලනඥයින්ට එරෙහිව විරෝධතා පැවැත්වීමට සහ තම ප්‍රචාරණ ව්‍යාපෘතියට සම්බන්ධ මාධ්‍ය හරහා එම විරෝධතාවලට දැවැන්ත ප්‍රචාරණයක් ලබාදීමටත් ඔහු තීරණය කර තිබෙන බව සඳහන්. ඊයේ දිනයේ පැවැත්වුණු විරෝධතාවට ද දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් සපයා තිබෙනු දැකගත හැකිවිය. 

No comments:

Powered by Blogger.