මිලියන 5,475 ක ආදායමක් අහිමි කරන පුස් වෙඩිල්ලක් වූ නෙළුම් කුළුණ.


නෙළුම් කුලූන ව්‍යාපෘතිය යනු රාජපක්ෂ දේශපාලනයේ සංකේතය වූ ( දැන් පොදුජන පෙරමුණේ සංකේතය වන ) නෙළුම් පොහොට්ටුව කොළඹ නගරයේ හැම කෙළවරකටම පැහැදිලිව දිස්වෙන ලෙස නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකි. රාජපක්ෂ ආණ්ඩුව සමයේ ක‍්‍රියාත්මක කළ පුහු ව්‍යාපෘති අතරින් පුහුම ව්‍යාපෘතිය ලෙස නෙළුම් කුලූන හැඳින්විය හැකිය. පසුගිය කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව නෙළුම් කුලූන ව්‍යාපෘතිය ගැන විශේෂ විගණන වාර්තාවක් සකස් කර තිබුණි. ඉතා දීර්ඝ හා සංකීර්ණ එම වාර්තාවෙහි ඇති කරුණු සලකා බලද්දී පැහැදිලිි වෙන්නේ මේ පුහු ව්‍යාපෘතිය රාජපක්ෂ ආණ්ඩුව සමයේදී මෙන්ම වත්මන් ආණ්ඩුව සමයේදීද දැවැන්ත ආර්ථික හානියක් රටට කරමින් ක‍්‍රියාත්මක වී ඇති බවය. විශේෂ විගණකාධිපති වාර්තාවේ ඇති කරුණු මෙසේය.


බහුකාර්ය රූපවාහිනී හා විදුලි සංදේශ කුලූනක් ගැන යෝජනාවක් මුලින්ම ඇවිත් තිබුණේ 2010 වර්ෂයේදී ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල සංදේශයකිනි. ඒ යෝජනාවේ තිබී ඇත්තේ පෑලියගොඩ විනෝද උයනක් සමඟ බහුකාර්ය කුලූනක් ඉදිකරන්නටය. එලෙස යෝජනා වී තිබුණු කුලූන දැනට ඉදිවෙන ව්‍යාපෘතිය තරම් දැවැන්ත එකක් නොවේ. එහෙත් ඒ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වී නොතිබුණු අතර පසුකාලීනව කොළඹ බේරේ වැව අසල ඉඩමේ දැන් ඉදිවෙන කුලූන ව්‍යාපෘතිය අරඹන්නට යෝජනා වී තිබේ. එහෙත් ව්‍යාපෘතියට සමාගම් සමඟ ගිවිසුම් ඇති කරගෙන තිබුණේත් කලින් ඉදිරිපත් කළ යෝජනාව මතය. එනම්, පෑලියගොඩ විනෝද උද්‍යානයටය.


කලින් ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය සංශෝධනය විය. අවසන් ඉදිකිරීමේ පිරිවැය එක්සත් ජනපද ඩොලර් 104,300,000ක් ලෙස ඇස්තෙම්න්තු කළ නෙළුම් කුලූන ව්‍යාපෘතිය ආරම්භ විය.


එය දින 912කින් අවසන් කරන්නට බලාපොරොත්තු වූ ව්‍යාපෘතියකි. ආරම්භ කළේ 2012 නොවැම්බර් 12 වැනිදාය. ඒ අනුව 2015 ජනාධිපතිවරණය වන විට ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම පාහේ අවසන් කළ යුතුව තිබුණි. එහෙත් එය ඊට වඩා බොහෝ දීර්ඝ කාලයක් ඇදී ගිය ව්‍යාපෘතියක් විය.


2018 දෙසැම්බර් මාසය වෙද්දීත් එහි ඉදිකිරීම් අවසන් නොවී පැවතුණි. ඒ අනුව දින 2200කට වඩා ගෙවී ගොස් තිබුණි. ව්‍යාපෘතිය ආරම්භයේදී රාජපක්ෂ ආණ්ඩුවේ කයිවාරුවල කොටසක් ලෙස දින 912 කතා කීවත්, ඒ ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ ගැටලූ රැුසක් සමඟය. හරි හැටි ශක්‍යතා අධ්‍යනයක් සිදු නොකිරීම, ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද ඉඩම් කොටස් පවරා නොගැනීම, ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තුව ප‍්‍රමාද වීම සහ ගිවිසුම්ගත ණය මුදල සීමා වීම, ව්‍යාපෘති වාණිජකරණයට ලක් කිරීමේ අවිනිශ්චිත බව ආදි ප‍්‍රශ්න රැුසක් එහිදී මතුවී තිබේ. අදටත් ව්‍යාපෘතිය අවසන් නැත. එහි අඩුපාඩු ගැන පොත්පත් ලියන්නට තරම් තොරතුරු ඇත. එයින් සිදුව ඇති පාඩුව ගැන දවස් ගණන් කතාකළ හැකිය.




මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවයි. ඒ කොමිසම ජනාධිපතිවරයා යටතේ ඇති කොමිසමකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පසුව, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ව්‍යාපෘතිය බාර විය. මුලින් ගත් අමාත්‍ය මණ්ඩල තීන්දු අනුව ව්‍යාපෘතියට අදාල සාකච්ඡුා කිරීම, ප‍්‍රසම්පාදනය, ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම, ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත් බාහිරකරණය සහ මෙරට රජය වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බලය දී තිබුණි.


ව්‍යාපෘතියට ඇමෙරිකන් ඩොලර් මිලියන 103 ක් ආෙයෝජනය කරමින් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන් (CEIEC) හා එරෝස්පේස් ලෝන්ග් මාර්ච් නැෂනල් ටේ‍්‍රඞ් ප‍්‍රයිවෙට් ලිමිටඞ් (ALIT) යන සමාගම් සමඟ ව්‍යාපෘතියට ගිවිසුම් ඇති කරගෙන තිබේ. ඒ 2011 ජුලි 19 දාය. අප පෙර කී පරිදි, ඒ ගිවිසුම් ඇති කරගත්තේ කලින් යෝජනා වී තිබුණු ව්‍යාපෘතියට අදාළවය. විගණකාධිපති වාර්තාව කියන්නේ, මේ සමාගම්වලට දැන් ඉදිවෙන වර්ගයේ දැවැන්ත කුලූනක් ඉදිකිරීමට හැකියාවක් තිබෙනවාද යන්න සැකසහිත බවයි.


කෙසේ වෙතත් මේ ව්‍යාපෘතියට චීන එක්සිම් බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 88.655ක ණයන් ගන්නටත් යෝජනා විය. 2012 සැප්තැම්බර් 12 දිනැති අංක/12/1296/501/031 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ණය ලබාගැනීමට අනුමැතිය ලබා දී තිබුණි.


මේ ව්‍යාපෘතියට හරිහැටි ශක්‍යතා අධ්‍යයනයක් කර තිබුණේ නැත. ශක්‍යතා අධ්‍යයනයක් කරන්නේ මහජනතාවගේ මුදල් වියදම් කරමින් දැවැන්ත ව්‍යාපෘති කිරීම හිතුමතේ නොකළ යුතු නිසාය. එවැනි අධ්‍යයනයන් කළ යුතු බව නීතිරීති ඇත්තේ ඒ නිසාය. එහෙත් මහජන බදු මුදල්වලින් තමන්ගේ ගමේ ගුවන්තොටුපොළ, වරාය්, ක‍්‍රීඩාංගණ හා සම්මන්ත‍්‍රණ ශාලා හැදූ, රාජපක්ෂලාට එය ගැටලූවක් නොවීය. මාපියන්ට ස්මාරක හැදූ රාජපක්ෂලාට ශක්‍යතා අධ්‍යයන නැතිවම ඉදිකිරීම් කරමින් ඒවා ගැන කයිවාරු ගැසීම කළ හැකි විය. මොරටුව විශ්වවිද්‍යාලයෙන් හැදූ මූලික වාර්තාවක් තිබුණත්, එය විධිමත් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් නොවේ. කෙසේ වෙතත් ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාව යැයි සඳහන් කරමින් වැරදි කරුණු රැුසක් තිබුණු වාර්තාවක් පසුව ඉදිරිපත් කර ඇත.


මෙම ව්‍යාපෘතියට අදාළව විගණකාධිපති දෙපාර්තමේන්තුව දැන් පෙන්වන එක් ගැටලූවක්ව ඇත්තේ මෙම ව්‍යාපෘතියට අයත් ඉඩම අත්පත් කරගැනීමේ ක‍්‍රියාවලියයි. 2012 ජනවාරි 23 වැනිදා විදුලි සංදේශ නියාමන කොමිසම හා නාගරික සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුමකට පැමිණ තිබුණි. ඒ 2011 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුවය. ඒ ඉඩමේ ඉදිකිරීමක් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට වැය වී තිබුණු පිරිවැය වන රුපියල් මිලියන 11,000ක් ගෙවන්නට එහිදී එකඟ වී තිබේ. වසරක් ඇතුළත එම ඉඩම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැවරීමටත් නාගරික සංවර්ධන අධිකාරිය කඩිනම් පියවර ගත යුතු බවට සඳහන්ව තිබුණි.

- රේඛා නිලුක්ෂි හේරත් ( අනිද්දා පුවත්පත )

No comments:

Powered by Blogger.