වෛද්‍ය සාෆි මාධ්‍ය සහ ඇත්ත: වෛද්‍ය රිචඩ් පෙරේරා.


සහරාන් ප‍්‍රමුඛ ඉස්ලාම් තව්ජිත් ජමාද් සංවිධානය කරන ලද ත‍්‍රස්තවාදී ආගම්වාදී ප‍්‍රහාරය තුළ කතෝලික ප‍්‍රජාව ඉතා ඉවසිලිමත්ව එයට මුහුණ දුන් අතර එය ඉතා ප‍්‍රශංසනීයයි. අවුරුදු 30 ක යුද්ධයක් ඇතිවූ පසු මෙම සෝචනීය තත්වය තුළ මුළු රටම මහත් භීතියට හා අරාජිකත්වයට යොමුවිය. ආරක්ෂක හමුදා මුස්ලිම් ජනයාගෙන් ලද තොරතුරු ලැබීම තුළ එම ව්‍යාපාරයේ ගෙළ සිරකරනු ලැබීය.

විවිධ දේශපාලන උවමනාවන් හා න්‍යාය පත‍්‍රයන් ඇති පුද්ගලයන් විවිධ ආයතන හිමිකරුවන්ගේ දේශපාලන උවමනා සඳහා බිහි වූ මාධ්‍ය ද මෙම අවස්ථාව තුළ හැසිරුණු අයුරු කණගාටුදායකය. ජාතික ව්‍යවසනයකදී අන් රටවල පක්ෂ විපක්ෂ නායකයන් හා අනුගාමිකයන් සහ උගතුන් හැසිරෙන අයුරු බැලූවිට අප රට සිටිනුයේ කොතැනකදැයි සිතීම පවා දුෂ්කරය.
විෂය බද්ධ උගතුන් හා විද්වතුන් සමාජ ක‍්‍රියාකාරීන් අවශ්‍ය තරම් දායකත්වය පෙනී නොසිට නිහඬව සිටීම නිසා අන් අය මෙහි වාසිය ගනු ලැබීය.

මෙම සමාජ පසුබිම යටතේ මෙය තවදුරටත් පවත්වාගෙන යාම රිසි, දේශපාලන වෘකයන් කුරුණෑගල හා ගම්පහ වැනි ප‍්‍රදේශවල නිරායුධ මුස්ලිම්වරුන්ට පහර දීම හා දේපොළ ගිනි තැබීම සිදු කළේය. එයට යම් දේශපාලන නායකයින් හා ඔවුන් විසින් මෙහෙයවනු අනුගාමිකයන්ද සහභාගි වූ බවට ප‍්‍රමාණවත් තොරතුරු ලැබී ඇත. මෙහි මුඛ්‍ය අරමුණ රට ආරාජිකත්වයට ඇද දැමීමයි. වෙනත් වචනවලින් කිවහොත් අන්තවාදීන්ගේ මනෝමය උවමනාවන් තෘප්ත කිරීමයි. මෙම තත්වය අඛණ්ඩ දිගුවක් ලෙස මැයි 21 දින දිවයින පුවත්පතේ වෛද්‍ය සාෆි කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් 4000 ක් කර ඇති බවත්, ඔහු තව්ජිත් ජමාද් සංවිධානයට සම්බන්ධ බවත් වඳ සැත්කම් කළ බවට සාක්ෂි ඇති බවටත් ප‍්‍රචාරය කෙරිණි. ඒ අනුව මාධ්‍ය විසින් පදනම් විරහිත විශාල ප‍්‍රචාරයක් ගෙන යනු ලැබීය. මේ පිළිබඳව දැනුමක් නැති මිනිසුන්ද සිසේරියන් සැත්කමට ලක් වූ මව්වරුන්ද වික්ෂිප්ත විය. ඒ අනුව සිංහල ජාතිය වඳ කරනවා යන ව්‍යාජ මන්ත‍්‍රය මාධ්‍ය හරහා ප‍්‍රචාරය කෙරිණි.

දිවයින පුවත්පත සහ විවිධ මාධ්‍යයන් මගින් 2019 මැයි මස 23 වෙනි දින වෛද්‍ය සාෆි ගැන පළ කළ පුවත මගින් විවිධ දේශපාලන බලකාමීන් හා ජාතිවාදී දෘෂ්ඨිවාදීන් විසින් වඳ භීතිකාවක් සමාජගත කරන ලදී. විවිධ චීවරධාරීන් විසින් ඔසවාගෙන යනු ලැබු මෙම මතවාදය තුළ උපවාස හා තර්ජනය කිරීම් හරහා සිංහල ජාතිය වඳ කිරීමේ උත්සාහයක් ලෙසට අර්ථගන්වනු ලැබීම තුළ පැමිණිලි කිරීමට පැමිණි මව්වරුන් බොහෝ විට සිසේරියන් පළමු හෝ දෙවන සැත්කම් කරනු ලැබු මව්වරුන් තමන් වඳ කර ඇත්දැයි ජනිත වු සැකයන් තුළ පැමිණි අයය. තවත් අය විවිධ සංකූලතාවයන් එනම්, අතපය රිදීම්, මහත් වීම්, මුත‍්‍රා අමාරු, කොන්ද කැක්කුම් වැනි සිසේරියන් සැත්කම්වලට අදාළ හෝ අදාළ නැති වෙනත් රෝගී තත්වයන් ඇති අයය. මේ වන විට එම මව්වරුන්ගේ පැමිණීම නතර වී ඇත. මෙයට වෛද්‍ය සාෆි විසින් සැත්කම් නොකළ අයද පැමිණ ඇත.

විවිධ මාධ්‍යයෙන් දිනපතා පැමිණි මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ දමද්දී විමර්ශනය කළ නිලධාරීන් වෛද්‍ය සාෆිගේ නම සඳහන් රෝග විනිශ්චයපත ඇති මව්වරුන් පමණක් තෝරාගෙන ඇත. මෙලෙස මව්වරු වැල නොකැඞී පැමිණීමට හේතු වූයේ අන් කිසිවක් නොව එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කෙලින්ම උද්ඝෝෂකයින්ගේ පැත්ත ගනිමින් ඔහුම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා, එසේ පැමිණි සිසේරියන් සැත්කම් කළ මව්වරුන් ප‍්‍රශ්න ඇත්නම් පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටීමයි. එසේම වෙනත් යටිබිම්ගත වුවමනාවන් ඇති පාර්ශවයන්ද ගම් මට්ටමින් මෙලෙස මව්වරුන් එවීමට පියවර ගෙන ඇත. ඒ අතර විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කළේ මව්වරු එසේ වඳ භාවයට පත් වී ඇත්නම් වන්දි ගෙවිය යුතු බවයි. මෙම තත්වය මව්වරු රෝහලේ පැමිණිලි කාමරය කරා ඇදී ඒමට ද හේතු විය.

විවිධ පාර්ශවයන් විසින් එනම් මෙම ක්ෂේත‍්‍රය පිළිබඳ යම් වැටහීමක් ඇති අය මෙන්ම කිසිදු විෂයබද්ධ දැනුමක් නොමැති අයද මෙම ගැටලූව සම්බන්ධව විශ්ලේෂණාත්මක නොවන මත හා විෂය ප‍්‍රස්තූතයන්ට පරිබාහිරව මිථ්‍යාවන් තම තමන්ගේ වුවමනාවන් මත ඉදිරිපත් කරන ලදී. මෙසේ ඉදිරිපත් කරන ලද අවිද්‍යාත්මක කරුණුවලට විකල්පයන් ලෙස මෙම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් හා නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා වෛද්‍යවරුන්ගේ විනය හා ආචාරධර්ම පිළිබඳ වගකියන හා වගවන ආයතනයක් වූ වෛද්‍ය සභාව හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ මේ පිළිබඳ කිසිදු වගකිවයුතු හා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොකර සිටීම කණගාටුදායකය. මෙම අවිචාර අබුද්ධික ප‍්‍රචාරයන් සිදුවෙද්දී එයින් රට තුළ බරපතල මුස්ලිම් විරෝධී සිංහල වර්ගවාදයක් පැතිරෙද්දී ඒ තුළ රට අරාජකත්වයට පත් වීමේ දී නිශ්ශබ්දව සිටීම ඔවුන්ගේ වෘත්තීයමය හා බුද්ධිමය කුහකත්වයදැයි කල්පනා කළ යුතුය.

එසේම මාධ්‍ය සන්දර්ශන පවත්වන මුද්‍රිත හා විද්‍යුත් නාලිකා මෙහි යතාර්ථය පිළිබඳ අදහස් සාකච්ඡා කිරීමටද දැක්වූයේ ඇල්මැරුණ ස්වභාවයකි. බොහෝ අය එනම් උගතුන්, වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් හා සමහර විශේෂඥයින් පෞද්ගලිකව අදහස් ඉදිරිපත් කරනවිට මෙය මිථ්‍යාවක් බවත් සිදුවිය නොහැක්කක් බවත් පිළිගනී. එහෙත් එය සමාජයට ඒත්තු ගැන්වීමට ඉදිරියට නොපැමිණෙන්නේ ඔවුන් තුළ ඇති බිය නිසාය.

සමහර වෛද්‍යවරු කීප දෙනෙක් ඒ පිළිබඳ තම අදහස් මුහුණු පොත් වල මෙලෙස සඳහන් කර ඇත. වෛද්‍ය සාෆිට එරෙහිව මුහුණුපොතේ සටහන් යොදන වෛද්‍ය චන්න ජයසුමන හා මහාචාර්ය නාරි හා ප‍්‍රසව විශේෂඥ හේමන්ත දොඩම්පහල (ඉරිදා ලංකාදීප පුවත්පතේ කස්තුරිගෙන් උපුටාගත් සටහනකි) යන අයගේ ප‍්‍රකාශ අනුව පහත සඳහන් කරුණු මතු කර ගත හැක.

1. පැලෝපීය නාලය අතින් තද කර සිටීම (සමහරු විනාඩි 10 පමණ)

2. පැලෝපීය නාලය අග කොටස වසා දැමීම (වසාදැමීම කෙසේ වෙතත් කපා දැමීම සිදු කළ හැකිය. එය නීත්‍යනුකූල එල්. ආර්. ටී. සැත්කමේදීත් කරනු ලබන කාර්යයි.)

3. නාලය මැද කොටස උපකරණයක් මගින් තද කර තැබීම. (මෙයට Artery forceps නමැති අඩු පාවිච්චි කළ යුතුය)

4. මෙම අඬු දෙක පැලෝපීය නාල දෙකට දමා සැත්කම අවසන් වන තුරු තැබීම.
මෙය සිදු කළ හැක්කක්දැයි බලමු.

A. 1 හා 4 ගැන කිව යුත්තේ මෙම සැත්කම් සිදු කරනුයේ වෛද්‍ය හා වෛද්‍ය නොවන කණ්ඩායමක් විසිනි.

B. කරනු ලබන සැත්කම කුමක්ද යන්න සැත්කමට කලින් ශල්‍යාගාරය හා නිර්වින්දන වෛද්‍ය වරයා හා සැත්කම් කරන T.O.G හෝ S.H.O දැනුවත් කළ යුතුය. එය L.S.La.S හෝ L.S.La.S + L. R. T ලෙස සඳහන් කරයි.

C. මෙම සැත්කම් වර්ග අනුව හෙද කාර්ය මණ්ඩලය හා උපකරණ සුදානම් කරන අතර එයට අමතරව උපකරණ සුදානම් නොකෙරේ. සිසේරියන් සැත්කම පමණක් නම් L. R. T (වඳ සැත්කම) කරන උපකරණ සුදානම් නොකෙරේ.

D මෙලෙස සැත්කම අවසන් වන තුරු පැලෝපීය නාලවල අඬු යොදා තිබීම වෛද්‍ය හා වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලවලට ඇස නොගැටීසිටිය හැකිද? (සාමාන්‍යෙයන් මෙම සැත්කමක් කිරීමට අවම පැය බාගයක් ගත වේ.)

E. එලෙසම සෑම සැත්කමක්ම සිදුවන විට පැය 6 න් 6 ට වෛද්‍ය හා වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලය වෙනස් වේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප‍්‍රසව ඒකක විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු යටතේ වාට්ටු පවතින අතර එම එක් වාට්ටුවකට ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන් 4 දෙනෙකු සිටින අතර ඒ අනුව මුලූ ඒකක තුනම විශේෂඥ වෛද්‍ය තුන් දෙනා ඇතුලූ වෛද්‍යවරු 15 ක් සිටී. වෛද්‍ය සාෆි ඔවුන්ගෙන් එක් කෙනෙකි.

F. වෛද්‍ය සාෆි හැර අන් අය මෙම සැත්කම් වර්ග දෙකම (සිසේරියන් හා වඳ) සිදු කරනු ලබයි නම් ශල්‍යාගාරවල රාජකාරි කරන සියලූ වෛද්‍ය නොවන හෙදියන් හා වෙනත් සේවකයින් 50 ක් හෝ 70 ක් පමණ සිටින හෙයින් ඉහත කී අය එලෙස නොකරනවානම් වෛද්‍ය සාෆි විසින් පමණක් එසේ කරන්නේ නම් අන් අයට නිතැතින්ම ඒ වෛද්‍යවරයා ගැන සැක සිතීමක් සිදු නොවන්නේද?

G. සිසේරියන් සැත්කම සිදු කරන විට ගර්භාෂය දෙපැත්තේ පිහිටි පැලෝපීය නාල දෙකට (artery forcep) අඬු රඳවා තැබිය හැකිද? එසේ කළහොත් ප‍්‍රධාන සැත්කම බාධාවකින් තොරව සිදු කරන්නේ කෙසේද? සහ එය සෙසු කාර්ය මණ්ඩලය නොදැක සිටින්නේ කෙසේද?

H. මෙවැනි දේ එක වරක් හෝ දෙවරක් සිදු වේ යයි සිතමු. එසේ වුවහොත් එය ලැව්ගින්නක් සේ රෝහල තුළ පමණක් නොව ලංකාව පුරාමත් පැතිර යනු ඇත. එසේම හෙදි නිලධාරිනියන්, ප‍්‍රධාන හෙදි නිලධාරිනියන්, නිර්වින්දන හා අනෙක් වෛද්‍යවරු මෙම ක‍්‍රියාවලිය අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයාට දැනුම් දෙනු ඇත. එය ශල්‍යාගාරවල ක‍්‍රමවේදයයි. බොහෝවිට ඉතා පලපුරුදු හෙදියන් සිටින ශ‍්‍රී ලංකාවේ ශල්‍යාගාරවල ඔවුන්ගේ ඇස් වසා කාන්තාවන් 4000 ක හෝ 8000 ක් වඳ කළ හැකි ද? ඉහත කී විද්‍යාත්මක නොවන ක‍්‍රම විරෝධී ක‍්‍රියාදාමයන් කිසිදා සිදු කළ නොහැකිය. මන්ද? සිසේරියන් සැත්කමකදී සියලූ දෙනාගේ ඇස් යොමු වී තිබෙන්නේ ඒ දෙසට නිසාය.

5. වෛද්‍ය ජයසුමනට අනුව පැලෝපීය නාලය අතින් තද කර වඳ කරනවා නම් එලෙස කොපමණ වේලාවක් සිටිය යුතුද? පැලෝපීය නාලය සෙ. මී. 1 කට වඩා මහතය. එය වාහිනීමත්ය. මාන්සලය. එය ගර්භාෂයේ උඩ පාවී පාවී යන අවයවයක් නොවේ. එය අල්ලා ගෙන සිටීමට වෛද්‍යවරයාගේ අත වරෙක දකුණු පැත්තෙන්ද වරෙක වම් පැත්තෙන්ද ගර්භාෂයේ පහළ කොටසට අත දමා මිරිකාගෙන සිටිය යුතුය. මෙය අනෙක් අයගේ ඇස් වසා කරන්නේ කෙසේද? එසේ කළ හොත් අනිවාර්යයෙන්ම නිර්වින්දන වෛද්‍යවරයා සැත්කම කරන වෛද්‍යවරයාගෙන් ඒ ගැන විමසනු ඇත. මෙලෙස ක‍්‍රියා කළ නොහැකි බව ශල්‍යාගාරවල සේවය කරන වෛද්‍ය හා වෛද්‍ය නොවන සියලූ දෙනා හොදින් දනිති. එලෙස මිරිකාගෙන සිටී නම් එය තැලීමක් (Contñion)එය ප‍්‍රායෝගිකව නැවත යථා තත්වයට පත් වේ. ඒ කෙසේද යත්, අතට පහරක් ගැසුවොත් ඒ කොටස තඩිස්සි වී පසුව එය යථා තත්වයට පත් වන්නාක් මෙනි.

6. වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම් 8000ක් කළා නම්, ඒ සියලූ දෙනා වඳ කළානම්, අවස්ථා 8000 කදී පැලෝපීය නාලය තැලීම් 16000 ක් සිදුවේ. එය හෙදියන්ට හා නිර්වින්දන සහ වෙනත් වෛද්‍ය වරුන්ට වසන් කළ හැකිද? ඔබ ප‍්‍රශ්න කළ යුත්තේ එයයි.

කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය ගාමිණී විමලරත්න S.H.O වෛද්‍යවරයා තැබු සටහනක් ඉන්ද්‍රජිත් ප‍්‍රියදර්ශනගේ මුහුණුපොතෙන් උපුටා ගෙන පළ කරමු.

”තමන් වගකිවයුතු දැනුමැත්තන්ගෙනුත් යම් යම් නිවැරදි නොවන ප‍්‍රකාශයන් නිකුත් වන බව පෙනෙන හෙයින් යමක් කිව යුතු යයි හැගුණි.
සාෆි වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ S.H.O කෙනෙකු වන අතර දිගු කලක් අත්දැකීම් ඇති අයෙකි. ඔහුද සිසේරියන් සැත්කම් 4000 ක් පමණ කර ඇති බව කියයි. සැත්කමකදී වෛද්‍යවරයෙකු හා මනා පුහුණුවක් ලද හෙදියන් සහභාගි වේ. ශල්‍ය කර්මයේ සියලූ පියවරයන් පිළිබඳ ඔවුන් මනා ලෙස දැනුවත්ය. ඔවුන්ගේ ඇස් වසා පැලෝපීය නාල ගැටගැසීමවත්, ඒවා කැපීමවත් කළ නොහැක. එයට අවශ්‍ය උපකරණ, අඬු, නූල් ආදිය සැපයිය යුත්තේ සහායක හෙදියන් විසිනි. එම උපකරණයන් ඇසුරින් තද කිරීම ( clamp) කළ හොත් අවට සිටින අයට දර්ශනය වේ. පැලෝපීය නාලය අන්වීක්ෂීය අවයවයක් නොවේ. අනුන්ගේ ඇස් වසා තම ඇගිලිතුඩුවලින් එයට කිසියම් හානියක් කළ හැකිය. එහෙත් ප‍්‍රායෝගිකව එම නාල යථා තත්වයට පත් වේ. 4000 ක් වඳ කිරීම යතාර්ථයක් නොවේ යයි මගේ හැඟීමයි. කලකට පෙර ශල්‍යකර්මවලදී වකුගඩු ඉවත් කරන බවට පළ වු කතාව සිහිපත් කරමි.”

”නිසරු කාන්තාවන්ට කරන පරීක්ෂණ හා ශල්‍යකර්ම හානි කිරීමේ පරීක්ෂණ වලදී නාල අත නොගැසේ. නාල සම්බන්ධ පරීක්ෂණ කරනුයේ V.O.G. ම S.H.O ගේ මූලිකත්වයෙන් නොවේ. මෙහිදී වෛද්‍යවරයා එවැනි දෙයක් කළා නම් සහායකයින්ගේ සහායෙන් තොරව එවැන්නක් කළ නොහැක. මා ඉතා හොඳින් දන්නා පරිදි එවැනි නිර්ලජ්ජිත සහායක වෛද්‍යවරුන් හෝ හෙද නිලධාරිනියන් කුරුණෑගල රෝහලේ නොමැත.
සමාජ මාධ්‍යයක දී මෙවැනි ප‍්‍රකාශ ඉදිරිපත් කරන විට පරිස්සමින් හා වගකීමෙන් කළ යුතු බව ප‍්‍රකාශ කරමි)

වෛද්‍ය සාෆි පිළිබඳ චෝදනා

වෛද්‍ය සාෆි පිළිබඳ 2019 මැයි 24 වෙනි දින හේමන්ත රන්දුනු විසින් දිවයින පුවත්පතේ පළ කළ පුවතට අනුව චෝදනා මෙසේය.

1. ඔහු සිසේරියන් සැත්කම් 4000 ක් කර සිංහල, බෞද්ධ කාන්තාවන් 4000 ක් වඳ කිරීම (එහි නම් ගම් සඳහන් නොවීය.)

මේ තුළ මතුකර ගත යුත්තේ සිසේරියන් සැත්කම සහ එල්ආර්ටී සිදුකළ මව්වරුන්ගේ ප‍්‍රමාණය කොපමණද කියා දැන ගැනීමයි. එසේම එයට මව්පියන්ගේ කැමැත්ත ලැබී තිබුණාදැයි දැන ගැනීමයි. එසේම සිසේරියන් සැත්කම පමණක් කොපමණ කර තිබේද? එම සංඛ්‍යාව කොපමණද?
එසේම එම මව්වරුන් හැර කරනු ලබන අනෙක් චෝදනාවන් එනම් පැලෝපීය නාළ මිරිකීම, අඬුවලින් තද කිරීම, යනාදි විවිධ කතාවලට ගොදුරු වූ මව්වරුන් සංඛ්‍යාව කොපමණදැයි සොයා ගත හැකිය. එම මව්වරුන්ගෙන් පැලෝපීය නාල පරීක්ෂාවෙන් එම නාල අවහිරවී ඇත්දැයි නැත්දැයි දැනගැනීමට විද්‍යාත්මකව සොයා බැලිය හැක. එමගින් මෙම ප‍්‍රලාපයේ සත්‍ය අසත්‍යතාවය වටහා ගත හැක.

එසේම පළමු සිසේරියන් සැත්කමින් පසු බොහෝ විට අවුරුදු 2-3ක් යනතුරු නැවත ගැබ් ගැනීම වළක්වා ගන්නා ලෙස වෛද්‍යවරුද පවුල් සංවිධාන සායනවලදීද මව්වරුන්ට උපදෙස් දෙනු ලැබේ. දෙවැනි වරටත් සිසේරියන් සැත්කම් කළ මව්වරුන්ට ද එපරිදිම අවුරුදු 2-3ක් යනතුරු නැවත ගැබ් ගැනීම වළක්වා ගන්නා ලෙස වෛද්‍යවරුද පවුල් සංවිධාන ද ඔවුන් දැනුවත් කරති. සාමාන්‍යයෙන් තුන්වන සිසේරියන් සැත්කමින් පසුව බොහෝවිට නැවත පිළිසිඳ ගැනීමක් වුවහොත් මව්වරුන් අනතුරුදායක තත්ත්වයකට පත්වනු ඇත. එබැවින් එම මව්වරුන්ගේ කැමැත්ත පරිදි වඳ සැත්කම නොහොත් එල්ආර්ටී සැත්කම කරනු ලබයි.

බොහෝ මව්වරුන් එවැනි කාල පරාසයන්හිදි තාවකාලික වඳභවයට පත් කරන මිතුරි, එන්නත්, සහ වෙනත් වෙනත් ඖෂධ සහ වෙනත් දේ සහ ක‍්‍රම භාවිත කරනු ලබයි. බොහෝ විට එම නිසා විවිධ සංකූලතා ඇති විය හැකිය. උදාහරණයක් වශයෙන් මාස් ශුද්ධියේ දී අධික ලෙස ලේ යෑම, දින ගණනක් ලේ යෑම, හෝ මාස් ශුද්ධිය සිදු නොවී තිබීම හා එම අවස්ථාවේ අධික ලෙස යටි බඬේ රුදාව හා එවැනි බෙහෙත් පාවිච්චි කිරීම තුළ මද සරු භාවය වැනි සාංකූලතාවයන් ඇති විය හැකිය. එහෙයින් පෝලිම් ගණන් කුරුණෑගල රෝගලට දැක්කූ අය මෙවැනි දේවල් ප‍්‍රකාශ කරන්නට ඇත.

2. අයථා ලෙස මුදල් උපයා තිබීම. එහෙත් පසුව ප‍්‍රකාශ වුනු පරිදි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දෙවන චෝදනාවටය. නමුත් සමාජගත කර තිබෙන්නේ වෛද්‍ය සාෆි විසින් සිංහල මව්වරු වඳ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට පත් වු අයෙකු ලෙසය.

2019 මැයි 23 වෙනි දින සහබ්දීන් සාෆි ලෙස හැඟවෙන පරිදි මහාචාර්ය චන්න ජයසුමන විසින් එදිනම මුහුණු පොතේ සටහනක් තබන අතර මැයි 25 වෙනි දින අලූයම වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රශ්න කිරීම්වලදී කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු හතර දෙනෙක් මුලින් ප‍්‍රකාශ කළේ තමන් කුරුණෑගල පොලීසිය වෙත මැයි 24 දා ප‍්‍රකාශ ලබා දුන් බවයි. එහෙත් අපරාධ පරීක්ෂණ දුරකතන වාර්තා ඔවුන් හමුවේ තැබු විට තමන් එම ප‍්‍රකාශ ලබා දුන්නේ සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් දින දෙකකට පසු ගම්පහ ප‍්‍රදේශයේදී බව පිළිගෙන ඇත.

සාෆිගේ බිරිඳ වෛද්‍ය ඉමාරාගේ ප‍්‍රකාශය අනුව ”වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගත්තේ අයථා ලෙස මුදල් ඉපයීම පිළිබඳවයි. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය අරන් තිබුණේ නෑ. ගේ චෙක් කළා. සී.සී.ටී.වී. ක‍්‍රියා විරහිත කරල කොන්රෝල් එක ගැලෙව්වා. ලැප්ටොප් හා චෙක් පොත් අරන් මහත්තය අත්අඩංගුවට ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරිගේ වාර්තාව ලබා ගෙන තිබුණේ එදින කුරුණෑගල මහාරෝහලේ රාත‍්‍රීයේ Oncall රාජකාරි කරන අධිකරණ වෛද්‍ය නිලධාරින් දෙදෙනාගෙන් නොව වෙනත් ගෙදර සිටි වෛද්‍යවරයෙකු රෝහල් අධ්‍යක්ෂක විසින් කැඳවාගෙනය.

1. වෛද්‍ය සාෆි තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ නැති බව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන් බව මැයි 27 වෙනි දින පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසයි.

2. අයථා ලෙස වත්කම් ඉපයු බව හෝ මව්වරුන්ගේ පැලෝපීය නාලවලට හානි කර ඇති බව හෝ පරීක්ෂණවලදී හෙලි නොවු බවත් ඔහු කියා සිටී.

3. අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ ක‍්‍රමවේදය තුළ අක‍්‍රමිකතා සිදුවී ඇති බවද ඔහු දැනුම් දෙයි.

4. මෙම රෝහලේ අධ්‍යක්ෂක විසින් වෛද්‍ය සාෆි සිංහල කාන්තාවන් 3479 ක්ද, මුස්ලිම් කාන්තාවන් 860 ක්ද, ද්‍රවිඩ කාන්තාවන් 33 ක්ද සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.

5. පැමිණිලි 615 අතුරින් 468 ක් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. විමර්ශන මට්ටමේ පැමිණිලි 147 න් මව්වරු 13 දෙනෙකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පර්යේෂණ කළ යුතු මට්ටමේ අය සිටිනුයේ මව්වරු දෙදෙනෙකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

6. රෝහලේ එම ඒකකවල සේවය කළ වෛද්‍යවරුන් සහ හෙදියන්ගෙන් කළ සාක්ෂි විමසීමේදී හෙදි සොහොයුරියන් 69 කු සහ අනෙකුත් සියලූ සහායක වෛද්‍යවරුන් එලෙස අනුමත නොකරන ක‍්‍රමවේදයන් සිදු නොවුනු බව සඳහන් කර ඇත.

7. එසේම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර පවසන්නේ වෛද්‍ය සාෆිට විරුද්ධව ලංකාවේ කිසිම පොලිස් ස්ථානයක වඳ සැත්කම් පිළිබඳව හෝ අයථා මුදල් ඉපයීම පිළිබඳව පැමිණිලි නොමැති බවයි.

වෛද්‍ය සාෆි හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (G.M.O.A)භූමිකාව
වෛද්‍ය සාෆි සහ වෛද්‍ය ඉමාරා කුරුණෑගල රෝහලේ සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් දෙදෙනෙකි. වෛ.නි.සං. තම සාමාජිකයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කිසිම පැමිණිල්ලක් නොමැතිව නිසි ක‍්‍රමවේදයකට අනුව නොවන බව නොදැන සිටිය නොහැකිය. ඔහුට විරුද්ධව ප‍්‍රධාන චෝදනාව වන්නේ අයථා ලෙස මුදල් ඉපයීමයි. ඒ ගැන අල්ලස් කොමිසමට හෝ ආදායම් බදු දෙපාර්තමේන්තුවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පැමිණිල්ලක් නොමැතිව අත්අඩංගුවට ගැනීම නිසා තම වෘත්තිකයාගේ අයිතිය උල්ලංඝණය කිරීම පිළිබඳව පෙනී නොසිටීම ගැන GMOA ඒකට සාධාරණීය කළ හැකිද? සිද්ධිමය තොරතුරු හා සිද්ධිමය පරිසරය තුළ තම සාමාජිකයන්ගේ වරණය නොබලා ඔහු චුදිතයෙකු ලෙස සලකා ඔහු වරදකරුවකු බව ඔප්පු වන තුරු ඔහුට සාධාරණය ඉටු කළ යුතු බව යුක්තිගරුක වෘත්තීය සමිතියක් වශයෙන් සිදු කළ යුතු කාර්යභාරයකි.

ජූනි 28 වෙනි දින ලංකාදීප පුවත්පතට ප‍්‍රකාශයක් කරන වෛද්‍ය නලින් හේරත්ට අනුව ශල්‍යාගාරය තුළ මෙවැනි වඳ සැත්කමක් අනෙක් අයට නොදැනුවත්ව කරන්නට ඇති ඉඩ කඩ අඩු බවත්, පරීක්ෂණය අවසාන වන තුරු චෝදනාවේ සත්‍ය අසත්‍ය බව කිව නොහැකි බවත්, නොකළ දෙයකට ලේබලයක් ඇලවීම සදාචාරාත්මක නැති බවත් පැවසුවද අත්අඩංගුවට ගත් ක‍්‍රමවේදයෙහි අසාධාරණය ගැන කිසිම සඳහනක් නොකරයි. මෙයද ඨගඵගධග අනුගමනය කරන නරුම ප‍්‍රතිපත්තියට උදාහරණයකි.

කෙසේ වෙතත් සිද්ධීන්වල පෙළගැස්ම අනුව කුරුණෑගල G.M.O. ශාඛාව සංවිධානය කරන ලද උද්ඝෝෂණවල සහ රෝහල් සුරැකීමේ සංවිධානය වැනි අය කරන ලද ප‍්‍රකාශවල දක්නට ලැබුණේ පරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කරන ලද කමිටුව පිළිනොගන්නා බවත්, එයට බලපෑම් ඇති බවත්, එම නිසා ජනාධිපති කොමිසමක් අවශ්‍ය යයි ඔවුන් පැවසු බවය. මෙවැනි ප‍්‍රකාශ නිසා මෙම සිද්ධිය ගැන හසරක් නොදත් රතන වැනි හිමිවරු කුරුණෑගල රෝහල අබියස උද්ඝෝෂණ සහ උපවාස ආරම්භ කළහ. පරීක්ෂණ පිළිබඳ සැකය වර්ධනය කරවමින් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටීමෙහි දේශපාලනික ස්වභාවය පිළිබඳ G.M.O. ට වැටහීමක් නොමැත්තේද? එසේම ඌව හා මොණරාගල ශාඛාවල සිදු කරන ලද ප‍්‍රකාශ අනුව G.M.O. නිහඬතාවය ප‍්‍රශ්නගත නොවන්නේද?

එසේම වෛද්‍ය සාෆි සේවය කරන වාට්ටුවේ ප‍්‍රධාන ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරයා සහ ඔහු සේවය කළ දඹුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා මේ පිළිබඳ වගකීම හා වගවීම දැරිය යුතු නොවේද?

යම් වෛද්‍යවරයෙක් වරදක් කළහොත් එම වරදෙන් කොටසකට වගකිව යුත්තේ අදාළ විශේෂඥ වෛද්‍යවරයාය. රෝහල් අධ්‍යක්ෂවරයාද මේ පිළිබඳ වගකිව යුතු වේ. මන්ද? එලෙස විශේෂඥ වෛද්‍යවරයාටත් ීග්‍යගධ. ටත් අයාලේ යන පරිසරයක් ඇති කිරීමට වගකිව යුත්තේ රෝහල් අධ්‍යක්ෂ වරයා බැවිනි.

G.M.O. හි ප‍්‍රධාන කාර්යභාරය විය යුත්තේ මෙම ප‍්‍රශ්නය පිළිබඳ මීට වඩා අවධානය යොදා සංඛ්‍යා ලේඛන මගින් හා පර්යේෂණ මගින් වෛද්‍ය සාෆිගෙන් හෝ වෙනත් අයගෙන් මෙවන් ක‍්‍රියාදාමයක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට කටයුතු කිරීම නොවේද?

වෛද්‍ය වෘත්තිකයන්ගේ ආචාරධාර්මික වෘත්තීය ගරුත්වය හා වෘත්තිකයින් සපයන සේවාවේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක ස්වභාවය පිළිබඳ කුරුණෑගල පමණක් නොව අන් රෝහල් ගැනද සොයා බැලීම G.M.O. සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව යන ආයතන වල වගකීම නොවේද?

විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිව ඔහු විසින් කාර්ය පවරනු ලැබු S.H.O. කෙනෙකු මෙවැනි සැත්කම් කරන විට ඔහුගේ අධීක්ෂණය යටතේ එය සිදු කළ යුතු බවත් ඔහුට මේ සියලූ සැත්කම් පිළිබඳ දැනුවත් කිරීම් කර නිසි අවසරය ලබා ගත යුතු බවත්, හදිසි අවස්ථා වලදී බොහෝ විට මේ සියලූ තොරතුරු විශේෂඥ වෛද්‍යවරයාට දන්වා ඔහුගේ අනුමැතියෙන් පසුව සැත්කම් කරනු ලබන බවත් G.M.O. නොදන්නවා නොවේ. අදාළ විශේෂඥ වෛද්‍යවරයා රෝහල් පරිශ‍්‍රය තුළ සිටිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ චක‍්‍රලේඛනයේ සඳහන්ය. එසේ නම් මෙම මතුවු ප‍්‍රශ්නය පිළිබඳ සහ අන් ක්ෂේත‍්‍රවල මතුවිය හැකි ප‍්‍රශ්න පිළිබඳවත් අවධානය යොමුකර එවැන්නක් අනාගතයේදී ඇති නොවන ලෙස අවශ්‍ය කටයුතු කිරීම G.M.O. සහ වෛද්‍ය සභාව කළ යුතු බව අවධාරණය කරමු. එය වෛද්‍ය වෘත්තිකයින්ගේ හා රෝගීන්ගේ ආරක්ෂාව හා විශ්වාසය පිළිබඳ මූලධර්මයක් විය යුතු වේ.

වඳ සැත්කම හා වඳ භාවය

වඳ භාවය කාන්තාවන්ට මෙන්ම පුරුෂයින්ටද සිදු විය හැකි ස්වාභාවික සංසිද්ධියකි. වඳ වීම තාවකාලිකව හෝ සථිරව විය හැක. ස්ථිරව ස්ත‍්‍රී වඳ කිරීම L.R.T.ලෙසද, පුරුෂ වඳ කිරීම වාසෙක්තමී ලෙසද හදුන්වනු ලබයි.

මෙම වඳ භාවය ලබා ගැනීමට කැමති අයට තමන්ගේ කැමැත්ත හා අත්සන ලිඛිතව ඉදිරිපත් කර රජයේ ඕනෑම මූලික රෝහලකින් හෝ පවුල් සෞඛ්‍ය කාර්යංශයෙන් හෝ පවුල් සැලසුම් සංවිධාන සංගමය තුළින් හෝ කර ගැනීමට පහසුකම් සලසා ඇත. මෙය නීත්‍යානුකූල සැත්කමකි.

කාන්තාවන්ගේ පැලෝපීය නාල දෙක කපා දමා නූල්වලින් ගැට ගසනු ලැබේ. පුරුෂයන්ගේ ශුක‍්‍රාණු නාල දෙක කපා දමා ගැට ගසනු ලැබේ. රට පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පවුල් සෞඛ්‍ය සායනවලදී කැමති මව්වරුන්ට අවබෝධය ලබා දී අදාළ පෝරමය පිරවීමෙන් පසු අදාළ රෝහල්වලට යොමු කරනු ලැබේ.

තාවකාලික වඳ භාවය යනු වසරක් හෝ වසර කීපයක් රසායනික ක‍්‍රම මගින් හෝ භෞතික ක‍්‍රම මගින් දරු උපත් වළක්වා ගැනීමයි. සුලභව භාවිතා කරන ක‍්‍රමයක් වන්නේ ඞීපොප්‍රොවේරා නම් එන්නත කැමති මව්වරුන්ට මාස තුනක් සඳහා නොමිලේ හෝ මුදල් අය කර ලබා දීමයි. තවත් ක‍්‍රමයක් නම් අවුරුදු පහකට මව්වරුන්ගේ අතෙහි ඉන්ප්ලාන්ට් ලෙස හඳුන්වන ප‍්‍රතිකාර ක‍්‍රමය ලබා දීමයි. තවද වෙළද පොලේ ඇති මිතුරී නම් උපත් පාලන පෙති වර්ගය සුලබව භාවිතා වේ. තවත් ක‍්‍රමයක් නම් කාන්තාවන්ට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල, රජයේ හා පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලදී ලූප් පැළදවීමෙන් සිය කැමැත්තෙන් වඳ භාවයට පත් විය හැක. අද වෙළඳපොලේ ප්‍රොස්ටිනෝ නම් සුලබ පෙත්තක් බොහෝ කාන්තාවන්ට අවශ්‍ය අවස්ථාවලදී ලබා ගත හැක. බොහෝ විට අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීමට මේවා භාවිතා වේ. තවද විවිධ වර්ගයේ කොන්ඩම් වර්ග වෙළදපොලේදී පහසුවෙන් ලබා ගත හැක. රට පුරා මාරිස්ටොප් නමින් හෝ වෙනත් නම් වලින් හඳුන්වනු ලබන ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. මේ හැර ගර්භණීභාවය අවසන්කරන ඖෂධ වර්ග වෙළදපොලෙන් ලබා ගත හැක.

මෙයින් මතුවූ සිසේරියන් හා වඳ සැත්කම අරභයා වෛද්‍ය විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු කීපයක් කියවන්නාගේ අවදානයට ලක් කිරීමයි.
මෙම විවිධ වෛද්‍යමය ප‍්‍රසවවේදී ව්‍යුහාත්මක කරුණු මත සාමාන්‍ය ක‍්‍රමය මත දරු ප‍්‍රසූතියක් නොකළ හැකි යැයි තීරණය කළ පසු කරනු ලබන සැත්කම් විශේෂයකි. එය වර්ග දෙකකි.
1. හදිසි සිසේරියන් සැත්කම් (Emergency Class)
2. තෝරාගත් සිසේරියන් සැත්කම (Slective Class)

තෝරාගත් සිසේරියන් සැත්කම් සඳහා මව්වරුන්ගේ කායික මානසික ප‍්‍රසව යනාදී හේතූන් කල්තියා දින ලබා දී කරන සැත්කමකි. මෙයට උදාහරණ කීපයක් දක්වන්නේ නම් නිවුන් දරුවන් (Twin), උස මිටි දරුවන් (Short Prime) තට්ටමෙන් පිහිටන ලද දරුවන් (Breach), ශ්‍රෝණි මේඛලාවේ ප‍්‍රමාණය හා වෙනත් අස්ථිමය පිහිටීම සහ දිය වැඩියාව හෘද රෝග මඳ සරු මවුවරුන් හා පළමු සිසේරියන් සැත්කමට පසුව ඇතිවන ප‍්‍රසූතයන් ආදියයි. දරු ප‍්‍රසූතියක් සඳහා රෝහල් ගතවන මව්වරුන්ගෙන් බොහොමයක් සිඳුවන්නේ ස්වභාවික ප‍්‍රසූතියයි. VOG නොමැති රෝහල්වල ඉහත ප‍්‍රශ්නගත මව්වරුන් සිටීනම් රෝහල්වලින්ද විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත‍්‍රයේ අද පවතින දියුණුව මගින් එම මව්වරුන් සායනවලදී VOGකෙනෙක් ඇති රෝහල්වලට යොමු කරනු ලැබේ. එවැනි ප‍්‍රශ්නගත මව්වරුන් VOG විසින් කල්තියා දැනුමත් කර ඒ සඳහා දින ලබා දී රෝහල්වලට ඇතුළත් කරනු ලැබේ.

සැත්කම් කිරීම හා එහි වගකීම

සැත්කම් සඳහා පෙර සූදානම් කරන මව්වරුන් රෝහල් ගත කළ පසු එහි සිටින සීමාවාසික HO RH, SHO යන වෛද්‍යවරුන් සිසේරියන් සැත්කම කිරීමට හේතු හා මවගේ පෙර සායනික සටහන් හා අදාළ පරීක්ෂණ වාර්තා හා වෛද්‍යවරුන් විසින් කරන ලද පරීක්ෂණ ඇඳ ඉහපත් අංක සහිතව (BHT) ඇති ලේඛනයේ ඇතුල් කරනු ලැබේ. මෙම මව්වරු සැත්කම් සඳහා සූදානම් කිරීමට පෙර ශල්‍ය කර්මය පිළිබඳව අඩංගු සියලූ විස්තර සහිතව (List) ලේඛණයක් ශල්‍යාගාර නිර්වින්දන වෛද්‍යවරයාට හා VOG ට යවනු ලැබේ.

x එවිට ශල්‍යාගාරයේ සිස්ටර් / මේට‍්‍රන් විසින් ඒ සඳහා අවශ්‍ය ජීවානුහරණය කළ උපකරණ කට්ටල් සකසනු ලැබේ.

x දැනුවත් පළපුරුදු හෙදියන් සහ හෙද සහායකයින් නම්කර සූදානම් කරනු ලැබේ (5ත් 6ත් අතර)

x නිර්වින්දන වෛද්‍යවරයා හා හෙදියන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනු ලැබේ.

x ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුද කැඳවනු ලැබේ.

x එසේම සාමාන්‍යන් ඊට අමතරව වෛද්‍යවරු දෙදෙනෙකු පමණ එම කණ්ඩායමට ඇතුළත් කෙරේ. තවද උපස්ථාන කම්කරු සේවකයන් 3 ක් හෝ 4 ක් ඇතුළත්ව ඇත. ඒ අනුව සිසේරියන් සැත්කම සඳහා VOG ඇතුළත්ව සෞඛ්‍ය ක්ෂේත‍්‍ර යේ විවිධ අය සහභාගි වී කරනු ලබන සැත්කමකි.

මෙම වගකීම්භාරය පැවරෙන්නේ කාටද?

ඕනෑම සිසේරියන් සැත්කමකදී වගකීම පැවරෙන්නේ VOG වෛද්‍යවරයාටය. ඔහුගේ සේවය ලබා ගන්නා මව්වරුන් හෝ ඥාතීන් කිසියම් රෝගයක් පිළිබඳව සංකූලතාවය (compliacation) ඇති වූ විට එම රෝගියා කරනු ලබන ප‍්‍රශ්න කිරීමකදී තොරතුරු හෙළිකිරීම සිදුකළ යුත්තේ VOG විසිනි. එවිට ඔහු විසින් කරන ලද ශල්‍යකර්මයේ සියලූම අවස්ථාවන් නිවැරදිව සටහන් කළ රෝගී ඇඳපත අනුව ඔහු පිළිතුරු දිය යුතුයි.

පසුගිය කාලය තුළ විවිධ අවස්ථාවන්හිදී මව්වරුන් විසින් කරන ලද පැමිණිලි මත නෛතික ක‍්‍රියා මාර්ග ගත් අවස්ථාද ඇත. එහිදී වගඋත්තර කරුවා වනුයේ VOG ය. මෙම සංකූලතා වනුයේ වඳවීම්, මදසරු බව වෙනත් ඉන්ද්‍රියන්වලට හානි වීම තුවාල පැසවීම ඇඩිසස් ඇතිවීම (ADHE) හෙවත් වෙනත් ඉන්ද්‍රියන් කපා දැමීමෙන් හෝ කැපීම)

මෙම ලේඛණ මොනවාද?

අගතියට පත් මව්වරුන් විසින් කරනු ලබන පැමිණිලි මත එවන් පරීක්ෂණවලදී එහි නිරවද්‍යභාවය හෝ වරදකාරීත්වය සොයා බැලීම සඳහා අධිකරණමය නෛතිකභාවයක් ඇති ලියවිල්ල වනුයේ ඇඳ ඉහතය (BHT). එහි වෛද්‍යවරයා විසින් ශල්‍යකර්මය කළ ආකාරය එහිදී ඔහුගේ නිරීක්ෂණ සහ බිහිවූ දරුවා ගැනද එම අවස්ථාවේ එම දරුවාගේ ජීවී ස්වභාවයෙන් සිටියේද එසේම ගර්භාෂයේ අවශේෂ කොටස් මැසූ ආකාරය එයට භාවිතා කළ නූල් වර්ගය යනාදිය පවා එහි සටහන් කළ යුතුය. එසේම මවට සැත්කමෙන් පසු දිය යුතු ප‍්‍රතිකාර ආදියද පැහැදිලි ව සටහන් තැබීම අවශ්‍ය වේ. එම අවස්ථාවේ කිසියම් වෙනත් සංකූලතාවක් තිබී නම් එයද සටහන් කළ යුතුයි.

නිර්වින්ද වෛද්‍යවරයාද සටහන් තබමින් එම රෝගියාගේ නිර්වින්දනයට පෙර සහ එම අවස්ථාවේ සහ ඊට පසුවද කරන සියලූ ප‍්‍රතිකාර මෙන්ම වෛද්‍ය නිර්දේශ ද ඔහුගේ නම සහ දිනය මෙන්ම වෙලාවද පැහැදිලිව සටහන් කළ යුතුයි.

ළමා රෝග වෛද්‍යවරයාට එම දරුවාගේ සියලූ විස්තර නිරීක්ෂණ තොරතුරු සටහන් කර තිබෙන අතර එම දරුවාට අවශ්‍ය වන්නේ නම් දිය යුතු ප‍්‍රතිකාර ගැනද කරුණු සටහන් කරනු ඇත. එහිදී වෛද්‍යවරයාගේ නම පරීක්ෂණ දිනය වේලාව සටහන් කර තැබිය යුතුයි.

ශල්‍යාගාරයේදී නඩත්තු කළ යුතු ලේඛණ

ශල්‍යාගාරයේ කරන ලබන ප‍්‍රධාන සැත්කම් සියල්ල ලේඛණ ගත කළ යුතුයි. දිනය වේලාව සිසේරියන් සැත්කම හා එදිනම ඛග ඍගඔග සැත්කම සිදුකළා නම් එයද සටහන් කළ යුතු අතර එයට සහභාගි වූ VOG නිර්වින්දන වෛද්‍ය ළමා රෝග වෛද්‍ය සහ සහභාගි වූ හෙද නිලධාරීන්ගේ නම් සටහන් කළ යුතු වේ. එසේම සැත්කම ආරම්භයේදී සහ අවසන් කළ වේලාවද රෝගියාගේ තත්වයද දරුවාගේ තත්වයද සටහන් තැබිය යුතුය. රෝගියා සහ දරුවා ශල්‍යගාරයෙන් ගිය වේලාවද සටහන් කළ යුතුයි.

එසේම ඔවුන් විවිධ (inventry) පවත්වා ගත යුතුයි. උපකරණ හා ශල්‍ය උපකරණ ඖෂධ ලැයිස්තු ද සැත්කම් ලැයිස්තුවද තබා ගත යුතුයි. මෙම ලේඛණ පරීක්ෂා කිරීමෙන් කිසියම් වරදකාරීත්වයක් සිදුවී ඇත්නම් හෝ කර ඇත්නම් එයට වගකිව යුතු පාර්ශවකරුවන් පැහැදිලිව හඳුනාගත හැකියි. මෙම ලේඛණ නෛතික පදනම් ඇති ප‍්‍රභල සාක්ෂි වේ.

සිසේරියන් සැත්කම සඳහා ක‍්‍රමවේද


1. රෝගියා කලින් දැනුවත් කිරීම
2. සිසේරියන් සැත්කම සඳහා සූදානම් කිරීම
3. සියලූම හේතු ඇඳ ඉහපතේ සඳහන් කිරීම
4. මවගෙන් සහ පුරුෂයාගෙන් සැත්කම සඳහා කැමැත්ත ප‍්‍රකාශ කිරීම හා එයට අවශ්‍ය අත්සන් ලබා ගැනීම

එසේම සිසේරියන් සැත්කම සමගම LRT (වන්ධ්‍යකරණ ) සැත්කම කරන්නේ නම් ඒ සඳහා කැමැත්ත ප‍්‍රකාශ කර අත්සන සහිත එකඟතා ලිපියක්ද අයත් වේ. එම කැමැත්ත හා අනුමැතිය ඇඳ ඉහපතේද සටහන් කළ යුතුයි.

සැත්කම් කිරීම

මෙහිදී සැත්කම සඳහා ඉදිරිපත් වන මව පිළියෙල කර ශල්‍යාගාරයට ගෙන යාම ඊට පසු ඪධඨ ඇතුළු කණ්ඩායම රෝගියා සැත්කමට භාජනය කිරීම

ඊට පෙර රෝගියා නිර්වින්දය කිරීම

සැත්කම සිදුකිරීමෙන් පසු මව සහ දරුවා ශල්‍යාගාරයේ අවශ්‍ය ලිඛිත සටහන් සහිතව වාට්ටුවට ගෙන යාම

වඳ සැත්කම් හෙවත් LRT සැත්කම

වඳ සැත්කම හෙවත් LRT නම් පැලෝපීය නාලයේ අග කෙළවර කපා දමා එය නූල්වලින් මසා දැමීමයි. එය වම සහ දකුණ යන දෙපැත්තේම සිදුකරනු ලබයි.

වඳ සැත්කම් කරන අවස්ථා

සිසේරියන් සැත්කම කරන අවස්ථාවේදී L. R.T. සැත්කම පමණක් කිරීම
සාමාන්‍ය ඛග ඍගඔග සැත්කම මහ රෝහල් වලද පුහුණුව ලද වෛද්‍යවරුන් විසින් වෙනත් රෝහල්වලද කොළඹ ද සේරම් මාවතේ ඇති පවුල් සෞඛ්‍ය සේවා කාර්ය්‍යංශයේද බුලර්ස් පාරේ පිහිටි පවුල් සංවිධාන සේවා සංගමයේදී ද සිදුකරනු ලබයි. මෙයට සහභාගි වනු ලබන්නේ අවම වශයෙන් දරුවන් තිදෙනෙකු සහ ඔවුන් ස්ත‍්‍රී පුරුෂ දෙවර්ගයෙන්ම යුත් සහ ඒ සඳහා කැමැත්ත ප‍්‍රකාශ කරන මව්වරුන්ගේය. ඒ සඳහා මව්පිය දෙදෙනාගේම කැමැත්ත ලබා දිය යුතුයි.

මෙවැනි මව්වරුන් රට පුරා ඇති මාතෘ හා ළමා සායනවල කැමැත්ත මත තෝරා ගන්නා මව්වරු ඒ සඳහා පෝරමයක් පිරවිය යුතුයි. එය අත්සන් කිරීම අනිවාර්ය වේ.

L. R.T. සැත්කම කිරීමට පෙර තෝරා ගත් මව්වරුන්ගේ දරුවන් පිළිසිඳ ගැනීමේ වාර ගණන හා ජීවත්ව සිටින දරුවන් ගණන හා අන්තිම දරුවාගේ වයස මවගේ සියලූම වෛද්‍ය තොරතුරු ඇඳ ඉහපත් අංකයේ සටහන් කළ යුතුය.
සැත්කම කරනු ලබන්නේ රජයේ රෝහල්වල VOG හෝ පුහුණුව ලත් වෛද්‍යවරුන් විසිනි. ඒ සඳහා ද වෙනත් සැත්කම් කිරීමේදී ගනු ලබන සියලූම ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.

මෙම සැත්කම සිදු කරනු ලබන්නේ අදාළ ශරීර ප‍්‍රදේශය හිරි වැටීමට ලක් කිරීමෙනි. එයට පුහුණුව ලත් හෙදියන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු ගැහැණු උපස්ථායිකාවන්ද කම්කරුවන්ද එසේම එක් එක් සැත්කම සඳහා ජීවානුහරණය කරන ලද උපකරණ යොදාගෙන කරනු ලැබේ.

සැත්කම්වල සියලූ විස්තර සැත්කම තුළ සිදුවූ සංකූලතා ඇත්නම් ඒවාද එය පටන් ගත් වේලාව සහ අවසන් කළ වේලාව ද ඒ සඳහා සහභාගි වූ වෛද්‍යවරයා ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයේ විස්තරද ඊ්‍යඔ හි සටහන් කරයි. මුල සිටම මෙම වඳ සැත්කම් ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව කරනු ලබන අතර එය විශේෂ පවුල් සංවිධාන වැඩ සටහනකි. මෙය මෙහෙයවීම හා අධීක්ෂණය තොරතුරු රැස් කිරීම පවුල් සංවිධාන කාර්ය්‍යංශය විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා කරනු ලැබේ. මෙම සැත්කමද කිසිම වෛද්‍යවරයෙකුට තනිව සිදුකළ නොහැක. පෞද්ගලික රෝහල්වල මෙම සැත්කම සිදුකළද එහිදීද දෙමාපියන්ගේ ලිඛිත කැමැත්ත ලබාගත යුතු අතර එහිදීද ඉහත කී තොරතුරු සහ ක‍්‍රමවේද එලෙසම අනුගමනය කළ යුතුයි.

මෙම ගැහැනුන්නට පමණක් සීමා වූ වඳ සැත්කමක් වන අතර පිරිමින් සඳහාද වාසේත්කම් යන වඳ සැත්කම රෝගියාගේ කැමැත්ත පරිදි සිදුකරනු ලබයි. මෙම වඳ සැත්කම් කුරුණෑගල රෝහලේ පමණක් සිදුවීම මහත් ආන්දෝලනයක් වී තිබේ.

මෙම සැත්කම් මා දන්නා පමණින් 1970 සිටම අද දක්වාද ලංකාවේ ඕනෑම රෝහලකින් දෙමව්පිය කැමැත්ත ඇති නම් නිශ්චිත පෝර්ම පුරවා ඇත්නම් මේ හොමොතේත් ඕනෑම මවකට වඳ සැත්කම හෙවත් LRT සැත්කම කර ගත හැකිය.

මෙම සිද්ධිදාමය තුළ මතුවී ඇති කථාව වනුයේ මෙයට වසර ගණනකට පෙර මුස්ලිම් ජනයාට එරෙහිව වඳ බෙහෙත්, වඳ ජංගි, බ්‍රෙසියර්, ජෙලි සහ වඳ බෙහෙත් ආහාරවලට මුසු කිරීම ආදී ප‍්‍රබන්ධ කථාවන් මුළු මහත් සමාජ ජාලාවල සහ කුණු රසය සොයන මාධ්‍ය විසින් සමාජ ගත කර තිබුණි.

මෙය බොහෝ අය විවිධ අභිලාශයන් සඳහා ගනු ලැබූ ඉතාමත් දුර්වල කථා වස්තූන්ය. සිංහල ජාතිය වඳ වී යාම පිළිබඳ මීට දශකයකට පෙර සෝම හාමුදුරුවන් රට වටා යමින් දේශනා කළ, දරුවන් සීමා කිරීම සිංහල ජාතිය වඳ වී යෑමට හේතු වන්නේ යැයි යන කථාව තුළින් ප‍්‍රභල විරෝධාත්මක ආකල්පයන් සිංහල ජනයා තුළ ජනගත කෙරිණි. පසුව ගලබඩඅත්තේ ඥාණසාර හා පාඨලී චම්පික හා රතන හිමියන් හරහා ජාතික හෙල උරුමය විසින් මෙම මතවාදය සඳහා අවශ්‍ය වූ පදනම් සංවිධාන එනම් සිංහල වෙළඳ මණ්ඩල වැනි සංවිධානද රට පුරා විවිධ සම්මන්ත‍්‍රණ හරහා වාහබ්වාදයට එරෙහිව ගෙන ගිය මතවාදී ප‍්‍රචාරණයද එයින් පසුව 2014 කාලවලදී එය උත්කෘෂ්ඨයට යමින් රට පුරා විවිධ ප‍්‍රහාරයන් තව දුරටත් ප‍්‍රසාරණය වෙමින් පැවතීය. බේරුවල සිද්ධිය එයට උදාහරණයකි. ක‍්‍රිස්තියානි පල්ලිවලට පහර දීම්ද පසුව සිදුවුණ බවට නොරහසකි. මෙයින් සනිටුහන් වනුයේ එය ආගමික අන්තවාදය කරාද ව්‍යාප්ත වූ බවයි. මෙම ක‍්‍රියාදාමය 2015 දී කිසියම් දුරටක සිංහල බෞද්ධ ජාතිවාදය මතුකරමින් සිටි අතර 2015 න් පසුවත් එය රාවණා බලය සිංහලේ මහසෝන් බලකාය නමින් වර්ණ ගැන්වූ දේශපාලන පක්ෂයන්ගේ ගැති සංවිධානද මෙම වර්ගවාදී දේශපාලනය පවත්වා ගෙන යන ලදී. රණවිරු සංවිධාන සාදමින් ලසන්ත, එක්ණැලිගොඩ හා හිරගෙදර ඝාතන මෙන්ම විවිධ අල්ලස් දෂණ හා සම්බන්ධ වූවන් ප‍්‍රශ්න කරන දේශපාලඥයින්ට පක්ෂව ද හමුදා සේවාවන්වල අයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගවලට එරෙහිව විවිධ දේශපාලන කණ්ඩායම් එම මතවාදයන් පෝෂණය කරමින් පවත්වාගෙන යන ලදී.

එසේම ගෝඨාවිසින් මෙහෙයවන ලැබූ වියත් මඟ, එළිය වැනි සංවිධානද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය වැනි සිංහල ජාතිවාදී සංවිධාන විසින්ද හා භික්ෂු සංවිධානද මේ මතවාදයන් තුළ සුළු ජාතින් සහ අන්‍ය ආගමිකයන්ට එරෙහිව මතවාදයන් දියත් කරන ලදී. මෙම පසුබිම තුළ නැවත වරක් දිගන අම්පාර සිද්ධීන්වලින් මුස්ලිම්වරුන්ට එරෙහි කලහකාරී ගැටුම් නිර්මාණය විය. එහි සුළමුල බැලූ විට කිසියම් වැදගත් කරුණක් තුළ ඒවා සිදු නොවුණු අතර පසුව එය මුස්ලිම් ජනයාට එරෙහිව ක‍්‍රියාත්මක විය. වරින් වර විල්පත්තු කැලය හා රිෂාඞ් බදුර්දීන් ගේ ක‍්‍රියාකලාපය ගැන විරෝධතා මාධ්‍ය හරහා මතයක් නිර්මාණය කරන ලදී. මේ පරිසරය තුළ අපේ‍්‍රල් 21 වෙනිදා සහරාන්ගේ පාස්කු ප‍්‍රහාරය තුළ හා පසුව මුස්ලිම් විරෝධී මතවාදය දරුණු ලෙස සමාජ ගත වූ අතර විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම් රටතුළ පැවති අරාජිකත්වය පවත්වාගෙන යාමට කටයතු කළේය. කුරුණෑගල විවිධ පළාත්වල පහරදීම්, ගිනිතැබීම් ඇති කර ජනයා අතර අසමගිය හා රටේ අස්ථාවරත්වය හා වර්ගවාදී හැඟීම් උත්සන්න කිරීමට නොයෙකුත් උපක‍්‍රම පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට, තමන්ට හිතවත් අය හරහා පරණ බෝම්බ මලූ පාසැල් කරා දමා යාම ආදිය සහ විවිධ කථා මගින් අරාජික හා වෛරීය සමය ගෙවා දමන ලදී.

මැයි 23 වැනිදා එයට කාල බෝම්බයක් ඉතා සැලසුම් සහගතව දිවයින ජාතිවාදී පත්තරය සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් සිසේරියන් සැත්කම් කර වඳ කළාය යන අතාර්තික ප‍්‍රබන්ධය ගොඩ නැගුණු අතර එමගින් රට තුළ විශාල මුස්ලිම් විරෝධයක් නැවත උපද්දවනු ලැබීය. එයට විශාල මාධ්‍ය ප‍්‍රචාරයක් ලැබුණු අතර හිරු සහ දෙරණ වැනි පක්ෂග‍්‍රාහී දේශපාලන න්‍යාය පත‍්‍රවල සිටගෙන සිටින්නන් දවසට තුන් වේලක් බෙහෙත් බොනවා සේ එක් එක් අදහස් ප‍්‍රකාශ කරමින් මෙහි සත්‍ය අසත්‍ය බව කිසිම අයුරකින් විමර්ශණය කර මතවාදයක් ප‍්‍රකාශ කරනු වෙනුවට, කිසිම අදහසක් නොමැති ඒ පිළිබඳව උගත් කමක් නොමැති අය අතිශය තාක්ෂණික කරුණු මත හා විද්‍යාත්මක ක‍්‍රමවේද මත සිදුකරනු ලබන සිසේරියන් සැත්කම පිළිබඳව හා වඳසැත්කම් පිළිබඳව (LRT)නන් දොඩවන්නන්ගේ වාක්‍යංශ අලෙවි කර තලූ මරණ මාධ්‍ය සංදර්ශන මගින් වෛද්‍ය සාෆි එල්ලූම්ගස් යැවීය. නැවත වටයකින් මුස්ලිම් ජන ප‍්‍රහාරයක් ඇති කිරීමට කැස කැවීය. මෙහි ඇත්ත නැත්ත සොයාගෙන කටයුතු කරනවා වෙනුවට බොරුව හා සැකය සමාජ ගත කිරීම පත්තර කරුවන්ගේ හා සමහර වෛද්‍යවරුන්ගේ, මෙම ක්ෂේත‍්‍රයන්ගේ අත්දැකීම් නොලැබූ දේශපාලඥයන්ගේ, පසුපස යන්නන් විසින් දුෂ්ඨ බලාපොරොත්තු සඳහා මෙය කෙමනක් බවට පත්කිරීමට උත්සාහ කළේය.

අවසානයේදී මෙහි දිවෙන ලද ජරා ජීර්ණ දේශපාලන හා ජාතිවාදී මඩගොහොරුවේ ස්වභාවය එයට නියමයෙන් හා අනියමින් සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරීන් වෛද්‍ය නිලධාරීන්ද එම සංගම්ද වෛද්‍ය සභාවද තම සාමාජිකයන් හරහා තමන්ගේ ඇරියස් කවර් කර ගත් GMO නඩයද මේ තත්වය පිළිබඳව නිහඬව සිටියහ. මෙමගින් මුග්ධ බවේ නිරුවත හෙළිදරව් කරගෙන ඇති අතර වෛද්‍ය සාෆි ඇප මත නිදහස් විය. ඔහු ත‍්‍රස්තවාදියෙකු ලෙස හා වඳ සැත්කම් අනියම් ලෙස සිදුකරනු ලබන බවට ඔහුගේ ජාතිය උපයෝගී කර ගනිමින් ඔහුට, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාටද අධික මානසික කම්පනයක් ඇතිවීම සඳහා දායකත්වය සැපයූ සියලූ පාර්ශවයන් සමාව ඉල්ලිය යුතුය. නැතිනම් ඔවුනට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ග ගත යුතුය. අවසාන වශයෙන් සහරාන් පාස්කු ප‍්‍රහාරය නොකළා නම් සාෆි තවමත් කරනවා කියන ඊනියා වඳ සැත්කම් කරනවා නොවේද? මෙයින් පෙනෙනුයේ මෙහි විකාර රූපී ප‍්‍රබන්ධනයේ බිම්ගත කුහක දේශපාලනයයි.

No comments:

Powered by Blogger.